අතුරුදන් වූවන් ඉල්ලා කළ සත්‍යග්‍රහයට වසරයි


(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
යුධ ගැටුම් සමයේ අතුරුදහන් වූවන් සෙවිම සදහා මෙරට ස්ථාපනය කර ඇති අතුරුදහන් වුවන්ගේ කාර්යාලය එක්සත් ජාතින්ගේ සංවිධානයට පෙන්විම සදහා  ලංකා රජය කල බොරුවක් බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අතුරුදහන් වුවන්ගේ හා පැහැරගැනිමට ලක් වුවන්ගේ ඥාතින්ගේ සංගමයේ සභාපතිනි නාගේන්ද්‍රන් ජෙයලක්ෂමි පිල්ලේ මහත්මිය පැවසිය.


ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව පවත්වාගෙන ආ සත්‍යාග්‍රහයට  අද (03) වසරක් සම්පුර්ණවීම නිමිත්තෙන් පැවැති උද්ඝෝෂණයක් හා පා ගමනක් ආරම්භ කරමින් සභාපතිනිය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එසේ පැවසිය.


අතුරුදහන් වුවන් හා පැහැරගැනිමට ලක්වුවන් ගේ  ඥාතින්  විසින් අතුරුදහන් වු හා පැහැරගැනිමට ලක් වුන්ගේ ඡායාරූප  ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවය පැවැත්විය.


මෙහිදි තවදුරටත් අදහස් දැක්වු  සභාපතිනි නාගේන්ද්‍රන් ජෙයලක්ෂ්මි පිල්ලේ මහත්මිය,.... “එක්සත් ජාතින්ගේ  සංවිධානයේ ඉල්ලිමට අතුරුදහන්වුවන් සෙවිම සදහා  පත්කල අතුරුදහන් වුවන්ගේ කාර්යාලයේ ඉන්න අය අතර මෙම අතුරුදහන් හා පැහැරගත්  ඒවාට සම්බන්ධ අය ඉන්නවා. ඒතුල අපට මේ කාර්යාලය තුලින් සාධාරණයක් ඉටුවන බවට විශ්වාසයක් නැහැ. පසුගිය කාලයේ  අතුරුදහන්වුවන් හා පැහැරගැනිමට ලක්වුවන් සෙවිම සදහා කොමිසන් සභා පත් කළා. ඒවායේ වාර්තා  අදටත් එළි දැක්වුයේ නැහැ. අතුරුදහන් වුවන්ගේ කාර්යාලයටත් වෙන්නේ මේ ටික. අපේ දැවෙන ප්‍රශ්නයට පිළිතුරු ලබාදිම  ප්‍රමාදවිමක් විතරයි මේ කාර්යාලයෙන් වෙන්නේ.
...ජනාධිපතිතුමා අතුරුදහන් වුවන්ගේ කාර්යාලයට සාමාජිකයන් පත් කළද අපේ විශ්වාසයනීය භාවය ඒ තුල නැහැ. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරි දිනවල ජිනිවාවලදී  රැස්වෙනවා. අපි යෝජනා කරනවා අතුරුදහන් වූවන් හා  පැහැරගැනිමට ලක් වූවන් සෙවිම සඳහා ජාත්‍යන්තර කොමිසමක් පත්කරන්න කියලා. අපි විශ්වාස කරනවා ඒ තුලින් අපට සාධාරණය ඉටු වේවි කියලා.“ යැයි සඳහන් කළාය.