චීනය සහ උතුරු කොරියාව අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා තවත් වර්ධනය කර ගැනීමේ අරමුණින්, නව පාලමක්  විවෘත කෙරුණි. මෙම පාලම විවෘත කෙරුණේ වසර ගණනාවක ප්‍රමාදවීම්වලින් පසුව වීම විශේෂත්වයකි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික ආයුධ වැඩසටහන හේතුවෙන් පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක හමුවේ එරටට ඇති විශාලතම ආර්ථික ශක්තිය සහ ප්‍රධානතම වෙළඳ සහකරුවා චීනයයි. චීනය සහ උතුරු කොරියාව අතරේ ශක්තිමත් සබඳතා පවතී.

කිලෝමීටර 3 ක් දිග, මෙම පාලම, ඉදිකර ඇත්තේ, යාලු නමැති ගංගාවට ඉහළින්, චීනයේ දන්දොං නගරය සහ උතුරු කොරියාවේ සිනුයිජු නගරය යා කරමිණි. ඉදිරියේදී, මෙම පාලම කේන්ද්‍රකොටගනිමින් දෙරට අතර ප්‍රධානතම ගොඩබිම් වෙළඳ මාර්ගයක් නිර්මාණය වනු ඇතැයි ද පැවැසෙයි.

මෙම පාලමේ කටයුතු මුලින්ම 2014 වසරේදී නිම කිරීමට සැලසුම් කර තිබුණ ද, දෙරට අතර පැවැති රාජ්‍යතාන්ත්‍රික මතභේද හමුවේ උතුරු කොරියාව විසින් පාලමට සම්බන්ධ වන මාර්ග සහ රේගු පහසුකම් ඉදිකිරීම් අත්හිටුවීම නිසා මෙහි ආරම්භය දින නියමයක් නොමැතිව කල් ගියේය. 

මෙම නව පාලම, 1937 සහ 1943 අතර කාලයේ ජපන් ආක්‍රමණ සමයේ ඉදිකරන ලද දශක ගණනාවක් පැරණි චීන-කොරියා මිත්‍රත්ව පාලමට  විකල්පයක් වනු ඇතැයි ද පැවැසෙයි.

පාලම විවෘත කිරීම සම්බන්ධයෙන්, අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ, මෙම නව පාලම දෙරට අතර සම්බන්ධතාව වර්ධනය කරන වැදගත් පහසුකමක් වන අතර එමඟින් වෙළඳ කටයුතු මෙන්ම ජනතාව අතර සබඳතා තවදුරටත් පහසු වන බවය.