අපේ ඇඟළුම් හලක් කෙන්යාවේ


( තිළිණි ද සිල්වා )

අප රටට වාර්ෂිකව ඩොලර් මිලියන 130 ක ආදායමක්  ලබා දෙන ශ්‍රී ලාංකීය ඇගලුම් කම්හලක් වූ කෙන්යාවේ පවත්වාගෙන යන බව කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එමගින් ශ්‍රී ලාංකිකයින් 64 දෙනකුට සහ කෙන්යාවේ වැසියන් 4,600 කට රැකියා උත්පාදනය වී ඇතැයි කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සීටි.

හෙළ ක්ලෝතින් නම් එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ආයෝජකයන් හා එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් වේලුපිල්ලේ කනනාදන් මහතා අතර හමුවක් ඉකුත් දා පැවැති අතර එහිදී මේ බව හෙලි විණි.

නයිරෝබි නුවර පිහිටි හෙළ ක්ලෝතින් ඇඟළුම් කර්මාන්ත ශාලාවට ගිය මහ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගත් එහි කළමනාකාර අධ්‍යක්ෂ දිලංක ජිනදාස මහතා, නිෂ්පාදන ඒකක වටා කැඳවාගෙන යමින් කෙන්යාවේ ඔවුන්ගේ ආයෝජනවල පැතිකඩ සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව විස්තර කළේය.

තම සමාගම මෝස්තර නිර්මාණයේ සිට බෙදා හැරීම දක්වා ගෝලීය වෙළඳ නාම සමඟ සමීපව කටයුතු කරන බවත්, හරිත මූලාරම්භයන්, නවෝත්පාදන ව්‍යාපාරික විසඳුම් සහ සදාචාරාත්මක හා තිරසාර සේවා පරිසරයන් හේතුවෙන් අප්‍රිකාවේ නමක් දිනාගෙන සිටින බව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා පැවසීය.

මෙරටට විදේශ විනිමය ආදායමක් උත්පාදනය කරන බාහිර ආයෝජන සඳහා, ශ්‍රී ලංකාව විසින් ද සහයෝගය දැක්විය යුතු බව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය. කෙන්යාවේ දී ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපාරික කටයුතු පුළුල් වීමත් සමඟම නැවත ශ්‍රී ලංකාව වෙත එවනු ලබන ආදායම ද ඉහළ යන බව ඔහු පැවසීය.