ආනවිලුන්දාව යළිත් ගිනිගනී


 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ලලිත් නවරත්න)

 

ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ පැතිරි ගිය ගින්න යුද හමුදාව හා වනජිවී නිළධාරින් හා ගම්වාසින් එක්ව නිවා දැමු බව පුත්තලම ආපදා කළමණාකර ඒකකය පවසයි.

පවතින වියළි කාලගුණ තත්වය හමුවේ රැම්සා අභය තුළ පසුගිය 5 දින ද ගිනි ගැනීමක් සිදුව තිබු අතර එය ආනවිලුන්දාව වනජීවි නිළධාරින් මහත් වෙහෙසක් දරමින් නිවා දමා තිබිණි.

පරිසරවේදින් පවසන්නේ දේශීය හා විදේශීය පක්ෂීන්ගේ සුවිශේෂ තොතැන්නක් වන මෙම රැම්සා අභය භූමිය මේ ආකාරයට ගිනි දිගින් දිගටම ගිනි ගැනිමත් සමග මේ වන විට රැදී සිටින පක්ෂීන්ට හානිකර කටයුත්තක් බවයි.

එසේම ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම රැම්සා තෙත් බිම ආරක්ෂා කර ගැනිම සදහා නිරන්තර අවධානය යොමු කරන ලෙසය.

ආනවිලුන්දාව අභය භුමිය තුළ ඇතිවු  ගිනි ගැනිම නිවා දැමිමට  පුත්තලම 143 වන බල සේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් සේනක කස්තුරි මුදලිගේ මහතාගේ උපදෙස් මත  යුද හමුදා කණ්ඩායමක් එක්ව තිබිණි.

ඒ සමගම ගින්න නිවා දැමිමට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ජල බවුසර් යොදා ගෙන තිබු අතර මේ සදහා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරින් හා  වනජීවි නිළධාරින් හා ගම්වාසින් ගින්න නිවා දැමිමට එක්ව සිටි බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ගිනි ගැනිම නිසා අභය භුමියේ  අක්කර 20 කට ආසන්න භුමි ප්‍රමාණයක් ගිනි ගෙන දැවි තිබිණි.

පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්. එන්.කේ.අලහකොන් මහතා පවසන්නේ පවතින වියළි කාලගුණ තත්වය හමුවේ කිසිවකු ගිනි තබා පලා යන්නට ඇති බවයි.