ඉර පායන හැටි බලන්න සීගිරියට නගී


(කාංචන කුමාර ආරියදාස)

ලෝක සංචාරක දිනය වන අද (27) අලුයම පහේ සිට සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව සළසා දී තිබිණි.
අද දිනට  පමණක් සීමා නොවී ඉදිරියට ද සංචාරකයන්ට මෙම අවස්ථාව උදාකර  දීමට අවධානය  යොමු කරන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සීගිරි  පව්ව මත සිට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.


වෙනත් දිනවල සීගිරිය නැරඹීම සඳහා අවස්ථාව උදාවෙන්නේ උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා පමණ කාලය කාලය තෙක් පමණි.
අද දින සීගිරි පව්වට නැගුණු විදෙස් විදෙස් සංචාරකයෝ බොහෝදෙනෙක් ඉර පායන අයුරු බලා සිටින්නට වූහ. එහෙත්  ඊයේ (26) රාත්‍රියේ පැවති වර්ෂාව හේතුවෙන් අලුයම් කාලයේ දර්ශනය වූයේ වලාකුළු සහිත ආකාශයකි. කෙසේවෙතත් 6 පසුවී විනාඩි කිහිපයක් ගතවෙද්දී හිරු නැගෙන දර්ශනය දැක ගැනීමට හැකියාව ලැබිණි.


මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියා සිටියේ ලෝක සංචාරක දිනය නිමිත්තෙන් විවිධ වැඩසටහන් ලෝකය පුරා ක්‍රියාත්මක වෙද්දී සීගිරියට පැමිණෙන සංචාරක පිරිස් සඳහා මෙවැනි දුර්ලභ අවස්ථාවක් දැක බලා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගත් බවය. 

එමෙන්ම ඉදිරියේදී අලුයම පහට සීගිරිය නැරඹීමේ අවස්ථාව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.


මෙම අවස්ථාවට එක්ව සිටී  ජෙට්වින්  සමූහ සංචාරක ව්‍යාපාරයේ සභාපති හිරාන් කුරේ මහතා කියා සිටියේ තමන් සංචාරක ව්‍යාපාරයේ අතිවිශාල ව්‍යාපාර අවස්ථා හා සම්බන්ධ කටයුතු රැසක් සිදු කරන ආයතනයක හිමි අයෙකු බවත්, තමන්ගේ සංචාරක ඉතිහාසයේ පළවෙනි වතාවට සීගිරියේ මෙවැනි දර්ශනයක් දැක බලා ගැනීමට හැකි වූ බවත්ය. ඉදිරියේදී සංචාරකයන්ට මෙම ඉර සේවය නැරඹීමට අවස්ථාව ලබා දෙන්නේ නම් රටක් වශයෙන් එය ඉතා වැදගත් වන බව ද ඔහු සඳහන් කළේය.