එජාප 74 සංවත්සර උළෙල චාමෙට සමරති



එක්සත් ජාතික පක්ෂයේ 64 වන සංවත්සර උත්සවය අරඹමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකයන් ආගමික වතාවත්වලට සහභාගී වූ අවස්ථාව. මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්  වන වජිර අබේවර්ධන, ජෝන් අමරතුංග, දයා ගමගේ, අර්ජුන රණතුංග මහත්වරු ද මෙහි සිටිති.


(***අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 74 වන සංවත්සර උත්සවය පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා චාම් අන්දමින් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී ඊයේ (6) පෙරවරුවේ පැවැත්විණි.

ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා ප්‍රමුඛ පක්ෂයේ හිටපු නායකයන්ගේ පිළිරූවලට මල් මාලා පළඳවා ගෞරවාචාර පුද කිරීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජ්‍යෙෂ්ඨ  නායකයන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

එම අවස්ථාවට පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක නවීන් දිසානායක, නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන වජිර අබේවර්ධන, ජෝන් අමරතුංග, දයා ගමගේ, අර්ජුන රණතුංග මහත්වරුද සහභාගී වූහ.

කොරෝනා වසංගත තත්ත්වය නිසා පාක්ෂිකයන් මෙවර සංවත්සර උත්සවය සඳහා කැඳවන්නේ නැතිව පක්ෂයේ ආදි  නායකයන්ට ගෞරවාචාර දැක්වීම සඳහා ඉතා චාම් අයුරින් සංවත්සරය සමරන්නැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුව අදාළ සංවිධාන කටයුතු සිදු කෙරුණු බව පක්ෂයේ  ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’යට පැවැසීය.