කිරිවෙහෙර නාහිමි ගුවන් මගින් කොළඹට


 (දිලීප් ජයසේකර)


වෙඩි ප්‍රහාරයට ලක් වු කිරි වෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ  වැඩිදුර ප්‍රතිකාර සදහා අද  (13)  හම්බන්තොට මහ රෝහලේ සිට ගුවනින් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යනු ලැබීය.
 
කිරිවෙහෙර රාජමහා විහාරාධිපති  කොබවක ධම්මින්ද නාහිමියන් ඊයේ (12) රාත්‍රි 10.15ට පමණ කිරි වෙහෙර මළුවට ගොස් කිරිවෙහෙර වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු නැවත ප්‍රධාන ආවස ගෙය දෙසට පැමිණෙමින් සිටියදී කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ සිටින දෙවෙනි මළුවේදි වෙඩි ප්‍රහාරයකට ලක් විය.
 
වෙඩි ප්‍රහාරය හේතුවෙන් නා හිමියන් සමග පැමිණි කතරගම මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය  වීදාපොල සොභිත හිමියන්ද තුවාල ලැබිය. තුවාල ලැබූ කිරිවෙහෙර නාහිමියන් ඇතුළු අනෙක් හිමි නම රාත්‍රියේදීම කතරගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව වැඩි දුර ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කෙරුණි.
 
පසුව කිරිවෙහෙර නාහිමි කොබවක ධම්මින්ද හිමියන් වැඩි දුර ප්‍රතිකාර සදහා අද (13) ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් SUH 522 දරණ හෙලිකොප්ටර් යානයෙන් කොළඹ පුද්ගලික රෝහලක් වෙත රැගෙන එනු ලැබිය.
 
නාහිමියන්ගේ උදරය ප්‍රදේශයට හා දකුණු අතට වෙඩි වැදී තිබේ.හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා පැවසුවේ අද13 අලුයම නාහිමියන්ට සැත්කමක්ද සිදු කළ බවයි.


තුවාල ලැබු වීදාපොල සෝභිත හිමියන් තව දුරටත් හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර  වෙඩි තැබිම සම්බන්ධයෙන් වු සැකකරුවන් මේ වන විට හදුනාගෙන සිටි. ඔවුහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙති.

(ඡායාරූප - දිලීප් ජයසේකර)

 ඡායාරූප - සනත් ගමගේ