ඥානසාර හිමියෝ උඩ මළුවේ


දයාරත්න ඇඹෝගම 
 
සිංහල දේශපාලන නායකයන්ගේ නොන්ජල් කම, බල ලෝබය සහ අවස්ථාවාදී බව විජයකලා මහේෂ්වරන් වැනි අයගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ යැයි   ගලබොඩඅත්තේ ඥානසාර හිමයෝ අනුරාධපුරයේදි පැවසුහ. 

 
අනුරාධපුර ශ්‍රි මහා බෝධින් වහන්සේ අභියස අද (05)  පස්වරුවේ පැවති ආගමික වතාවත් රැසකට ඒ හිමියෝ සහභාගි වුහ.
 
ශ්‍රි මහා බෝ සමිඳු ඉදිරිපිට වැලිමළුවේදි ඒ හිමියන්ට සෙත් පතමින් ස්වාමින් වහන්සේලා පිරිත් සජ්ජායනා කර පිරිත් නුල් ගැට ගසා ආශිර්වාද කළහ. අනතුරුව   අටමස්ථානාධිපති   පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැ දැක ඥානසාර හිමියෝ ආශිර්වාද ලබාගත්හ. 
 
අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ  අදහස් දක්වමින් ඥානසාර හිමියෝ මෙසේ ද කීහ. 
‘‘විජයකලා මහේෂ්වරන්ලාගේ දේශපාලනය වටහා ගැනීම හරිම අපහසුයි. සමහර අවස්ථාවල විජයකලා මහේෂවරන් ඇතුලු දෙමළ සන්ධානයේ සුමන්තිරන්ලා, මාවෙයි සේනාධිරාජලා   උද්ඝෝෂණය කරනවා උතුරේ හමුදා බලය,පොලිස් බලය අවම කරන්න කියලා. මේ ආරක්ෂක මුර කපොලු වැඩියි ඒවා ඉවත් කරන්න කියලා.
 
ඒ ආරක්ෂාව ඉවත් කිරිමෙන් පස්සේ දරුවෝ ලිංගික අපචාර වලට නැත්නම් දුෂණ වලට ගොදුරු වෙන කොට ආපහු විජයකලා මහේෂ්වරන් ඇතුලු මේ ද්‍රවිඩ සංධානයට අදාල ඒ කණ්ඩායම් ආපහු ආරක්ෂක අංශවලටම ඇගිල්ල දික් කරනවා.
 
මේ අයට දෙමළ නිසා ඇති වෙච්ච ප්‍රශ්නය මොකක්ද කියලා තමයි අපට අහන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ විජයකලා වාගේ උදවියගේ ප්‍රකාශ වලින් පේන්නේ මේ සිංහල දේශපාලන නායකයන්ගේ නොන්ජල් කම. වෙන මොකවත් නෙමේ ඒ අයගේ තියෙන බල ලෝබය සහ අවස්ථාවාදි බව. මේවායින් රටක එක නීතියක් නැති බව තමයි ගම්‍ය වෙන්නේ.
 
ව්‍යවස්ථාවේ අත තියලා බෙදුම්වාදයට ඉඩ දෙන්නේ නැහැ කියලා සපථ කරපු මන්ත්‍රිවරියක්,ආණ්ඩුවේ ඇමතිවරියක් එයාට මේ වාගේ ප්‍රකාශයක් කිරිමේ හැකියාවක් තියෙනවාද? ඒක පැත්තකින් තියමුකෝ වහාම රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි සමස්ථ රට වැසියාගේ බලාපොරොත්තුව‍. සරල ලෙස කියන්න තියෙන්නේ මෙච්චරයි විහිලු කොමඩි චිත්‍රපටි දැන් අපේ රටේ නැහැනේ. ගොඩාක් අඩුයි. ඒ නිසා ජනතාවට නොමිලේම විහිළු සපයන කණ්ඩායමක් දැන් ආණ්ඩුවේ සිටිනවා.‘