තද සුළඟින් නිවාස-වගාබිම් හානි රැසක්


(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)


ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදලංගල, කුට්ටිගල, හාගල, ජූලංකැටිය ඇතුලූ ප‍්‍රදේශ ගණනාවක සවස හතරට පමණ ඇති වූ තද වැස්සත් සමග හමාගිය සැඩ සුළඟ හේතුවෙන් අස්වනු කැපීමට ආසන්නයේ ඇති කෙසෙල් වගාව අක්කර දෙසිය පනහක් පමණ සහ වෙනත් ගස් කොළන් වලටද, නිවාස විස්සකට පමණ ද හානිවී ඇතැයි එම ප‍්‍රදේශවාසීහූ කියති.


මේ සම්බන්‍ධයෙන් ආපදාකළමනාකරණ මධ්‍යස්ථානයේ රත්නපුර සහකාර අධ්‍යක්‍ෂ මුදිත මංජුල මහතා පැවසුවේ අද (24)  දහවල් වන විටත් හානියේ සැබෑ තොරතුරු ලබාගැනීම පවා දුෂ්කර වු බවයි.


 ඌරුපැරැත්ත, 15 ඇල, 16 ඇල, 17 ඇල, වෙහෙරගොඩැල්ල, යන ප‍්‍රදේශවලට ද මෙම ආපදා තත්ත්වය ඇතිවී තිබුණි. සුළං හමාගෙන ගොසු තිබුණේ එක් ප‍්‍රදේශයක් ඔස්සේ පමණි. ඒ ප‍්‍රදේශයේ තිබූ සියලූම දේපල හානියට පත්ව තිබේ. කෙසෙල් වගාව මෙන් ම පොල්, කොස්, තේක්ක, දෙල්, අඹ, ආදී විශාල ගස් ඇදවැටී තිබුණි. විදුලි රැහැන් මාර්ග ගණනාවකට ද ගස් කඩාවැටීම් නිසා අලාභහානි සිදුව ඇත. 


අද (24) දහවල් වනතුරු බොහෝ ප‍්‍රදේශවල විදුලිය ඇණහිට තිබුණි.


ඇතැම් නිවාසවල වළහල් ගැලවී ගොස් තිබුණි. නිවෙස් මෙන්ම තාවකාලික මඩු ආදියද දැඩි හානි සිදුව තිබුණි. නිවාස මතට ගස් කොළන් ඇද වැටීමෙන් නිවෙස් වල ඇතුලේ තිබූ ගෘහ භාණ්ඩ ඇතුලූ බොහෝ දේපල වලට ද දැඩි හානි සිදුව තිබෙන අතර අළාභය කොතෙක් දැයි ගණන් බලා නැතැයි අපදා කලමනාකරණ ඒකකය පවසයි.