දන් පිළිගැනීමේ පිණ්ඩපාත චාරිකාවක්


 ( බී.ජී. චතුරංග සහ උපුල් තම්මිට )
 අසිරිමත් බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහොය නිමිති කරගනිමින් සංවිධානය කළ මහා සංඝරත්නයේ දහස් නමක් උදෙසා  දන් පිළිගැන්වීමේ  පිණිඩපාත චාරිකාවක් මිහින්තලයේදී  අද  (29) දහවල් වීදි සංචාරය කැරිණි.

චීනයේ ප්‍රාන්ත කිහිපයක වෙසෙන බෞද්ධ වැසියන් සමඟ එක්වූ බෞද්ධ දායිකාවක් වන සූසාන් මහත්මිය මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ශ්‍රාස්ත්‍රපති  වලවාහැංගුනවැව ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ ඉල්ලීම හා අනුශාසනා පරිදි   මෙය සංවිධානය කර තිබිණි.

මිහින්තලය රජමහා විහාරස්ථානයට අයත් සාංචි විහාරය ඉදිරිපිටින් පිණ්ඩපාත චාරිකව ආරම්භ කෙරුණු අතර හේවිසි හොරණෑ පෙරටුකරගත් චීන බෞද්ධ ධූත පිරිස සමඟ මහා සංඝරත්නය මිහින්තලා නගර උයනට වැඩම කළහ.

එම අසිරිමත් දසුන දැකබලා ගැනීම සදහා බෞද්ධ සැදැහැවතුන්ගේ විශාල පිරිසක්ද  මග දෙපස රැස්ව සිටියහ.

පිණ්ඩපාත චාරිකාවේ වැඩම කරවු මහා සංඝරත්නයට දන් පිළිගැන්වීම ශ්‍රී රතනජෝති නාහිමි අනුස්මරණ බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිටදී සිදුකෙරුණු අතර චීන ධුත පිරිස සමඟ විහාරස්ථානයේ දායක පිරිස, සිවිල් ආරක්ෂක බලකායේ සෙබළ සෙබළියන් උන්වහන්සේලාට දන් පිළිගැන්වීම සිදු කළහ.