නෙළුම් කුළුණ පිපෙයි


(ඩයනා උදයංගනී)

දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල වන කොළඹ ”නෙළුම් කුළුණේ” මෙහෙයුම් කටයුතු මෙම 15 වැනිදා සිට ආරම්භ කෙරෙන අතර එහි පළමු අදියර ලෙස දෙස් විදෙස් ජනතාවට එය නැරඹීමේ අවස්ථාව හිමිවේ.

ඒ අනුව 15 වැනිදා සිට සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වාත්, සති අන්තයේ දහවල් 12.00 සිට රාත්‍රී 11.00 දක්වාත් නෙළුම් කුළුණ නරඹන්නන් සඳහා විවෘත වන අතර එය පෙරවරු කාලයේ පාසල් චාරිකා පැමිණෙන සිසුන් වෙනුවෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇත.

මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන එය නැරඹිය හැකි අතර, ශ්‍රී ලාංකිකයන්ට රුපියල් 500 සහ රුපියල් 2000ක් ගෙවා එය නැරඹිය හැකි අතර, 2,000 ප්‍රවේශපත් ලබාගන්නා වැඩිහිටියන් සමඟ පැමිණෙන අවුරුදු 10ට අඩු දරුවන්ට රුපියල් 500කටත්, 500 ප්‍රවේශපත් ලබාගන්නා වැඩිහිටියන් සමඟ පැමිණෙන අවුරුදු 10ට අඩු දරුවන්ට රුපියල් 200කුත් ගෙවා ප්‍රවේශපත් ලබාගත යුතු බව නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

විදේශිකයන්ගෙන් ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 20ක්  අයකෙරෙන බව ද හෙතෙම සඳහන් කළේය.

රුපියල් 2,000 ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා අයට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍ර යට ඇතුළුවිය හැකි අතර කුළුණේ ඇති අවන්හල්, සාප්පු ආදී ස්ථානයන්හි අවශ්‍ය තරම් කාලයක් රැඳී සිටීමේ අවස්ථාව හිමිවන අතර, 500 බැගින් වන ප්‍රවේශපත් ලබාගන්නා අය කණ්ඩායමක් එක්වන තුරු රැඳී සිට කණ්ඩායමක් ලෙස එය නැරඹිය යුතු වේ.

එමෙන්ම ඔවුන්ට එක් එක් ස්ථානවල රැඳී සිටීමට ලැබෙන කාලය සීමිත වන බව ද ප්‍රසාද් සමරසිංහ මහතා කීවේය.

එමෙන්ම සෑම නරඹන්නෙකුටම කුළුණේ 29 වන මහලෙහි පිහිටි නැරඹුම් ස්ථානයේ රැඳී සිටිය හැක්කේ විනාඩි 30 ක කාලයකි.

ඉදිරි මාස කිහිපය තුළ ප්‍රවේශ පත්‍රය වෙනුවට කි්‍යු.ආර් කේතයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි ද සමරසිංහ මහතා කීය.

150 දෙනෙකුට පමණ එක්වර රැඳී සිටිය හැකි නැරඹුම් ප්‍රදේශයට පිවිසීමෙන් පසු එහි පහළින් දිස්වන කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ මෙන්ම දුරදක්න මගින් නම් තවත් දුර බැහැර ප්‍රදේශ දැක ගැනීමේ අවස්ථාව නරඹන්නන්ට හිමිවේ.

නෙළුම් කුළුණ මෙහෙයුම් කටයුතු ඇරඹීමේ දෙවන අදියරේදී නැරඹුම් ප්‍රදේශයේ සිට ශ්‍රී පාදස්ථානය, සීගිරිය, නකල්ස් කඳුවැටිය වැනි ස්ථාන දැකගත හැකි දුරදක්න සවිකිරීමට බලාපොරොත්තු වන බව නෙළුම් කුළුණ පුද්ගලික සමාගම පවසයි.

මෙහි 27 වන මහලේ පිහිටි කැරකෙන අවන්හල, 26 වන මහලේ පිහිටි 500 දෙනෙකුට පමණ රැඳී සිටිය හැකි උත්සව ශාලාව, බිම් මහලේදී ප්‍රසිද්ධ අවන්හල්වල සහ සමරු වෙළඳසැල්වල අත්දැකීම් ලබාගැනීමට ද නරඹන්නන්ට අවස්ථාව හිමිවනු ඇත.

එමෙන්ම මෙම පරිශ්‍රයේදී සංගීත ප්‍රසංග, සංස්කෘතික සංදර්ශන, ආහාර සැණකෙලි ආදිය පැවැත්වීමට ද කටයුතු යොදා ඇති අතර, ඉදිරියේදී ගුවනේ ඇවිදීම් ආදී ක්‍රීඩා, පිවිසුම් ස්ථානයේ ජල රටා සංදර්ශන ආදිය ද මෙයට හඳුන්වාදීමට නියමිතය. 

(ඡායාරූප: ශාන්ත රත්නායක)