පළමු පොපි මල නාවික හමුදාපතිට


ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය ක්‍රියාත්මක කරන පොපි මල් සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් පළමු පොපි මල නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට අද(15) පළඳවනු ලැබිණි.

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) දයා සඳගිරි මහතා විසින් පොපි මල පළඳවනු ලැබූ අතර පළමු ‍ලෝක යුද සමයේ සටන්බිමේදී තම රත් පැහැ රුධිරය වගුරවමින් ජීවිතය පූජා කළ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ප්‍රථම වරට ආරම්භ වූ මෙම පොපි මල් සැමරුම වර්තමානයේදී මව්බිම වෙනුවෙන් දිවි දුන් සියලුම රණවිරුවන් සිහිපත් කිරීම සඳහා පවත්වනු ලබයි.

මව්බිමේ ආරක්ෂාව සඳහා ඔවුන් සිදු කළ කැපවීම සිහිපත් කරමින් පොපි මල් විකිණීමෙන් ලැබෙන මුදල් රණවිරු පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය උදෙසා යෙදවිමට අපේක්ෂිතය.