ප්‍රතිකාර කරන්න ඔරුවේ ආ වනජීවී නිලධාරීන්ට අලියා පහර දෙයි


(කුෂාන් ජයවරධන)

වනජීවී නිලධාරීයකු ඇතුළු තිදෙනෙකු ගමන් ගත් ඔරුවකට අද (13) සවස කලාවැවේදී වල් අලි ප්‍රහාරයක් එල්ල වූ බව වයඹ වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීහු පැවසූහ.

වල් අලි ප්‍රහාරයෙන් ඔරුවට බරපතල හානි සිදුව ඇති බවත් ඔරුවේ ගමන් ගත් පිරිසගේ දිවි බේරී ඇති බවත් වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීහු සඳහන් කළහ.

දුම්රියේ ගැටීමෙන් අනතුරටපත් වල් අලියෙකුට දෙවන වරටත් ප්‍රතිකාර කිරීමට වයඹ වනජීවී පශුවෛද්‍ය ඒකකයේ නිලධාරීහු අද කටයුතු කරනු ලැබූ අවස්ථාවේ දී මෙම වල් අලි ප්‍රහාරය එල්ල වී ඇත.

වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා ඇතුලු පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් හා ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අලියාට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණ සිටියහ.

කලාවැව දියෙහි බැස ගොඩ බිම ආසන්නයේ සිටි අලියාට ගොඩබිම සිට බෙහෙත් එන්නත් කිරීමෙන් පසු වැව් දියෙහි දුරට ගිය අලියාට සෙසු ඖෂධ එන්නත් කිරීම සඳහා වනජීවී නිලධාරීන්ට එම අලියා සිටි ස්ථානය ආසන්නයට ගමන් කිරීමට සිදුවිය.

ඒ අනුව ඔරුවක ආධාරයෙන් අලියා සිටි ස්ථානය ආසන්නයට ගමන් කිරීමට වනජීවී නිලධාරීන්ට සිදුවූ අතර ප්‍රදේශයේ ධීවරයින්ගේ සහය ඇතිව සපයා ගත් ඔරුවක ආධාරයෙන් වනජීවී නිලධාරීයකු අලියා සිටි ආසන්නයට ගමන්කර අලියාට තවත් එන්නතක් ලබා දීමට කටයුතු කරනු ලැබීය.

ඒ සමඟම කුපිත වූ වල් අලියා වනජීවී නිලධාරියා ඇතුලු තිදෙනෙකු ගමන් ගත් එම ඔරුවට පහර දෙනු ලැබීය. අලියාගේ පහර දීමෙන් ඔරුව පෙරැළී ගොස් එම ඔරුවට බරපතල හානි සිදු විය.

එම අවස්ථාවේ එහි ගමන්ගත් වයඹ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ ක්ෂේත්‍ර සහකාර සපුමල් උදයකාන්ත මහතා ඇතුලු තිදෙනාගේ දිවි බෙරී ඇත.

දියමත පිහිනා සැඟව ගොස් දිවි රැක ගැනීමට එම අවස්ථාවේ නිලධාරීයා ඇතුලු පිරිස සමත්ව තිබිණ. එම අවස්ථාවේ වනජීවී නිලධාරියා අතවූ බෙහෙත් විදින අවිය ද කලාවැවට වැටී තිබූ අතර පසුව නිලධාරීන් එක්ව කිමිදී කළ මෙහෙයුමකදී එම ගිනි අවියද සොයා ගැනීමට හැකිවිය.

මෙම අලියාට ප්‍රතිකාර කිරීම සඳහා මීට පෙර අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන්ද කටයුතු කළ අතර එම අවස්ථාවේදී ද ප්‍රතිකාර කටයුතු සඳහා ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු සමග වනජීවී නිලධාරියකු ගමන්ගත් ඔරුවක් ද කලා වැවේ පෙරැළි අනතුරට පත්වී ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ.