පේරාදෙණි සරසවියෙන් නව නිර්මාණ රැසක්


(ගයාන් සූරියආරච්චි)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුව වාර්ෂිකව පවත්වනු ලබන අවසන් වසර සිසුන්ගේ පර්යේෂණ හා ව්‍යාපෘති එළිදැක්වීමේ සම්මන්ත‍්‍රණය හතරවැනි වරටත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හීදී පැවැත්විණි.

පේරාදෙණිය සරසවියේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේ උපදෙස් පරිදි විද්‍යුත් හා විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තු ප‍්‍රධානී මහාචාර්ය ජනක ඒකනායක මහතා විසින් මෙය සංවිධානය කර තිබිණි.

ඉලෙක්ටි‍්‍රක් ත‍්‍රිරෝද රථ, මිනිස් මොළයේ සංඥා මගින් ක‍්‍රියාකරන රොබෝ අතක්, මවකගේ ගර්භාෂයේ වැඩෙන දරුවාගේ හෘදස්පන්දය වෙන්කර ගැනීමේ වෙද නළාවක්, පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයක් ප‍්‍රධාන විදුලි පද්ධතියට එකතු ගැනීමට උපකාරීවන කාර්යක්ෂම බලශක්ති පද්ධතියක්, බලශක්ති පද්ධතියේ සංඛ්‍යාත නොගැලපීමක් පවතීනම් ට‍්‍රාන්ස්ෆෝමරය දක්වන ප‍්‍රතිචාර හඳුනාගැනීමේ පද්ධතියක්, මුහුදුබඩ ප‍්‍රදේශ ආශ‍්‍රිත අධි බල විදුලි රැහැන්වල විදුලි පුළිඟු ඇතිවී සිදුවන විදුලි විසංධිවීම් කල්තියා හඳුනාගැනීමේ උපකරණයක්, දිය යටින් ගමන් කරන රොබෝ යානයක්, පසේ තෙතමනය හඳුනාගෙන ජලය සැපැයීමේ පද්ධතියක් ඇතුළු නව නිර්මාණ හා ව්‍යාපෘති රැසක් එදින එළිදැක්විණි.

මෙම අවස්ථාවට මහාචාර්ය දිසාල උඩුවාවල, මහාචාර්ය මංජුල ප‍්‍රනාන්දු, ආචාර්ය ලිලන්ත සමරනායක, ආචාර්ය ජනක විජයකුලසූරිය ඇතුළු මහත්ම මහත්මීන් රැසක් සහභාගිවූහ.