මඩේ එරී අලි පස් දෙනෙක් මිය ගිහින්


(ක.ග. කරුණාරත්න)

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ විසූ සද්ධන්තයින් පස් දෙනෙකු මහවැලි ගගේ ප්‍රධාන අතු ගංඟාවක් වූ පෙරියආරු ගඟට අයත් පොලොන්නරුව ඕනෑගම පුදූර් ප්‍රදේශයේ වගුරු බිමක මඬේ එරී මියගොස් සිටියදී ඒ මළසිරුරු අද (01) දහවල් හමුවූ බව වනජීවි නිලධාරිහු කියති.

මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශයේදී මඬේ එරී මියගිය වයස අවුරුදු 08 ක් පමණ වයසැති අලි පැටවෙකුගේ මළසිරුරක් ප්‍රදේශවාසීන්ට හමුවී තිබුණි.

රාත්‍රී කාලයේ ආහාර සොයා පැමිණෙමින් සිටියදී මේ අලි පස් දෙනාද ඒ අන්දමට මඩ සහිත වඟුරු බිමේ එරී ආපසු ගොඩට යාගත නොහැකි වී මිය යාමට ඇතැයි වනජීවි නිලධාරීහු කීහ.

මිය ගිය අලි පස් දෙනාගේ මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ හෙට ඉරිදා(02) දිනයේ පැවැත්වීමට නියමිත බව ගිරිතලේ වනජීවි පුහුණු කේන්ද්‍රයේ පශු වෛද්‍ය නිලධාරීහු ප්‍රකාශ කළහ.