රූමස්සල හිරවූ නැව කපා ඉවත් කෙරේ



(ඩී.ජී.සුගතපාල)

වසරකට ආසන්න කාලයක් තිස්සේ උණවටුන රූමස්සල කඳු පාමුල කොරල්පරවල හිරවි තිබෙන නැව පරණ යකඩවලට කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වරාය අධිකාරිය පවසයි.

ගාල්ල සිමෙන්ති සමාගමට ක්ලින්කර් ගෙනැවිත් ගොඩබා පිටත වරායේ නැගුරම්ලා තිබු ඉන්දියානු සමාගමකට අයත් “ශ්‍රී ලංකා ග්ලෝරි“ නමැති මෙම නැව පසුගිය වසරේ ජූනි මාසයේ 18 වනදින හමාගිය තද සුළඟින් නැගංරම්ද කඩාගෙන ගොස් රූමස්සල කඳු පාමුල කොරල්පරවල හිරවී තිබූ අතර එහි සිටි නාවිකයින් නම දෙනා බේරගනු ලැබිණි.

නැවේ තිබු තෙල් විසිරීමකින් පරිසර හානි ඇතිවීමට ඉඩ තිබු නිසා සමුද්‍ර පරිසර දූෂණ වැළැක්විමේ අධිකාරියේ අධීක්ෂණය යටතේ නැවේ තිබු තෙල් ටොන් 22ක් ශානිකා මෙරයින් නමැති සමාගම විසින් ඉවත් කරගෙන එම සමාගමට අයත් පුත්තලම පිරිපහදුව වෙත ගෙනයන ලදි.

පසුව නැව වෙළඳ නැව් අධ්‍යක්ෂවරයා බාරයට ගෙන බාහිර කිසිම පුද්ගලයෙකුට නැවට ඇතුළුවීමද තහනම් කර තිබිණි.

මේ අතර නැව කපා ඉවත් කිරීමට සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේද වනජීවි දෙපාර්තමේන්තුවේද නිර්දේශ ලබා දී ඇත.

ඒ අනුව පුද්ගලික සමාගමක් විසින් නැව කපා ඉවත් කරනු ලැබේ.