වට්ටක්කා ගොවීහු කබලෙන් ලිපට


   (හිරාන් ප්‍රියංකර ජයසිංහ)              

නවගත්තේගම වට්ටක්කා ගොවීහු  සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අසරණභාවයට පත්ව සිටිති. වට්ටක්කා කිලෝවක් මේ දින වල අලෙවි වන්නේ රුපියල් 07-08 ප්‍රමාණයකට බව ඔවුහු පවසති.

මේ හේතුවෙන්  වට්ටක්කා කිලෝ ලක්ෂ ගණනක් වටිනා අස්වැන්න අත්හැර  දමා  ඇති අතර ඇතැම් ගොවීහු වනසතුන්ට ආහාරය පිණිස සිය අස්වැන්න  වගා භූමියේම අතහැර තිබේ.

නවගත්තේගම,  කොන්කඩවල හා ගාමිණිපුර ගම්මානවල වගාකරුවෝ  වි ගොවිතැන් සඳහා ජලය ප්‍රමාණවත් නොවිම නිසා වට්ටක්කා වගා කිරීමට ගොවීහු පෙළඹුණ බවත්  මේ වන විට වගාවන් සඳහා  සිදු වු ණය  ගෙවා ගැනීමටවත් නොහැකිවී ඇතැයි ඔවුහු පවසති.

  වගා කරුවන් 60 කට ආසන්න පිරිසකගේ  වට්ටක්කා කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් මෙසේ විනාශ  වෙමින් පවති.  රජයේ සහ කිසිදු වගකිව යුතු අංශයක් සිය  වගාව මිලදි ගැනිමට මේ වන විටත් ඉදිරිපත් ව නැයිද ඔවුහු කියති.