වට්ටක්කා තම්බාගෙන තමන්ටම කන්න වෙලා


(උපුල් තම්මිට)
 
වට්ටක්කා අස්වැන්න රජය විසින් මිලදී ගැනීමට තීරණය කළද ඒ සඳහා ලැබෙන මිල ප්‍රමාණවත් නොවන හෙයින් වට්ටක්කා කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 45 ක මුදලක් ලබා දෙන ලෙස ගො මහවිලච්චිය ව්‍යාපාරයේ ගොවීහු පවසති.
 
මිලදී ගන්නා සෑම වට්ටක්කා කිලෝවක් සඳහා රජය විසින් රුපියල් 35 සිට 40 හ දක්වා මුදලක් ලබාදෙන බව මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී.සී.චන්ද්‍රදාස මහත්මිය සඳහන් කළාය.
 
මේ වනවිටත් වට්ටක්කා කිලෝග්‍රෑම් 30,000 මිලදී ගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයි පැවසුවාය.
 
මහවිලච්චියයේ මෙවර මාස්කන්නයේ අක්කර 500 ක වට්ටක්කා වගාකළ අතර මේවනවිට වට්ටක්කා කිලෝග්‍රෑම් දෙලක්ෂ හැටපන්දහසක පමණ අස්වැන්නක් ගොවින් සතුව පවතින බව ගොවීහු පැවසූහ.
 
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් තම් අස්වනු අලෙවිකර ගැනීමට නොහැකි අවස්ථාවක රජය මැදිහත්ව තම අස්වනු මිලදී ගැනීමට ඉදිරිපත්වීම අගය කරන බව ගොවීහු සඳහන් කළහ