වනජීවී නිලධාරීන්ගේ වෑයම වතුරේ යවා කොටියා අවසන් ගමන් යයි


(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)       

(ඡායාරූප - ගාමිණී බණ්ඩාර ඉලගන්තිලක)

                              

(රංජිත් රාජපක්ෂ සහ ගාමිණී බණ්ඩාර ඉලගන්තිලක)

මන්දකට හසු වී පලාවිත් ගසක දෙබලක සිර වී දැඩි ලෙස තුවාල ලබා සිටි කඳුකර කොටියෙකු වනජීවි නිලධාරින් විසින් පැය තුනක මෙහෙයුමකින් මුදාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා රණිදෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන අතරතුර මිය ගිය බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.
 
මස්කෙලිය පොලිස් වසමට අයත් ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න කොටසේ සවුක්ක ගසක අඩි 20 ක් පමණ ඉහළට නැග ඇති කොටියාගේ උදරය ප්‍රදේශය මන්ද සහිතව ගසේ දෙබලේ  සිට සිර වී ඇත.
 
ගාඩ්මොර් තේ වත්තේ එළවළු වගා භුමියක වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් අටවා තිබු උගුලකට කඳුකර කොටියා ( 17) දින රාත්‍රියේ හසු වී ඇති අතර , පසුව කොටියා මන්ද කඩාගෙනවිත් තේ වත්තේ රැඳී සිටියදි වතු කම්කරුවන් පිරිසක් කොටියාට ගල් මුගුරු වලින් පහර දෙන අවස්ථාවේ ඉන් මිදීමට තේ වත්තේ තිබු ගස මතට නැග ඇත.
 
මන්ද සහිතව ගසට නැග ඇති කොටියා ගසේ දෙබලක මන්දේ කෙරවලක ගැට ගසා තිබු මුගුරක් සිර වීම නිසා දෙබලේ සිර වී ඇති අතර, ගසින් බැසීමට උත්සහ කිරීමේදි දැඩි ලෙස තුවාල ලබා ඇත.
 
රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ පශු වෛද්‍යවරුන් , නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් සමග පැමිණ දැඩි උත්සහයක් දරා නිර්වින්දනය කර කොටියා ගසින් පහළට ගෙනෙන ලදී. සිරවී තිබු මන්ද දැඩි පරිශ්‍රමයක් දරා කපා ඉවත් කර තුවාල ලබා සිටි කොටියාව ආරක්ෂිත කූඩුවක දමා වැඩිදුර ප්‍රතිකාර සඳහා රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන අතරතුර මිය ගොස් ඇත.
 
ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ කඳුකර කොටියා වයස අවුරුදු 4 කින් යුක්ත බවත්, කොටියා අඩි 4 කින් පමණ දිගකින් යුක්ත බවත්, වනජීවී නිලධාරීහු කියති.

දිගු වේලාවක් මන්දේ සිර වී බේරි යාමට උත්සහ කිරීම නිසා උදරය ප්‍රදේශයට සහ වකුගඩුවලට දැඩි ලෙස හානි සිදු වීම හේතුවෙන් කොටියා මියගොස් ඇති බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් කියා සිටියේය.
 
මිය ගිය කොටියා සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරන බවද ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය.