වැට්බදු ආපසු ගෙවීමේ කවුන්ටරය විවෘත කරයි


(ටී.කේ.ජී.කපිල )
 
                   ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදුණු විදේශීය සංචාරකයන් රට තුළදී ලබා ගත් භාණ්ඩ මත අය කළ බදු මුදල් ආපසු ගෙවීමේ කවුන්ටරය අද (11) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් විවෘත කෙරිණි.
 
මෙම නව ගෙවීම් කවුන්ටරය දවසේ පැය 24 පුරා වසරේ දින 365 ම විදේශීය සංචාරකයන් සදහා විවෘතව පවතින බවත් මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන්නකි.
 
මෙම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස ඇමතූ මංගල සමරවීර මහතා මෙසේ කීය.
 
මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවට වැඩිපුර විදේශීය සංචාරකයන් ගෙන්වා ගැනීම සදහා ආරම්භ කරන ලද වැඩසටහනක්. මේ මගින් මෙම සංචාරකයන් ශ්‍රී ලංකාව තුළදී මිලදී ගත් භාණ්ඩ සඳහා ඔවුන්ගෙන් අය කළ  15% ක එකතු කළ අගය මත බද්දෙන් ( වැට් ) 80% ක් මෙම කවුන්ටරයෙන් එම සංචාරකයන් සදහා ආපසු ගෙවනනු ලබනවා. ඉතිරි 20% පරිපාලන කටයුතු සදහා රදවා තබා ගන්නවා.
 
මේ සඳහා මෙම විදේශීය සංචාරකයන් ඔවුන් මිලදී ගත් ආයතන වෙතින් ලබාගත් බිල් පත්‍ර මෙම කවුන්ටරය වෙත ඉදිරිපත් කළ යුතු වෙනවා. ලෝකයේ සෑම දියුණු රටකම මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා . ඒ මගින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනවා.
 
මෙම කවුන්ටරය මගින් සේවා සැපයීමේ දී එක් සංචාරකයකු සඳහා විනාඩි 5 ක් වැනි සුළු කාලයක් පමණක් වැය කරන ලෙසද මේ සඳහා ඉතාමත් සරල ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන ලෙස ද දේශීය ආදායම් නිලධාරීන් හට අමාත්‍ය මංගල සමරවීර මහතා පෞද්ගලිකවම උපදෙස් ද දුන්නේය .
 
මෙම උත්සව අවස්ථාව සඳහා මුදල් සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක, මහා භාණ්ඩාගාරයේ ලේකම් ආර්.එස්.එච්.සමරතුංග ඇතුළු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපොළ උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.