සජිත් පාක්ෂිකයන් හමුවෙයි


(නිමල කොඩිතුවක්කු)    

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා වූ  සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි ඒ මහතාගේ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී සිය පාක්ෂිකයන් හමුවී මැතිවරණ සමයේ දැක්වූ සහාය වෙනුවෙන් ස්තූතිය පුද කරනු ලැබීය.

පෙරවරු 10.00 ට පමණ වෝක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණි සජිත් පේ‍්‍රමදාස මහතා පිළිගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාක්ෂිකයන් පිරිසක් මැතිවරණ කාර්‍යාලයේ සහ ඒ අවට මාර්ග වල රැඳී සිටියහ.

සජිත් පේ‍්‍රමදාස මහතා සමග ඒ මහතාගේ බිරිඳ වන ජලනි පේ‍්‍රමදාස මහත්මියත් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

වෝක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ  මෙහෙයුම් කාර්යාලය අවට රැස්වූ පිරිස වැල නොකැඩී පැමිණ සජිත් පේ‍්‍රමදාස මහතාට ආචාර කර සුබ පැතුම් එක් කරනු ලැබීය.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයෙන් පසු පාක්ෂිකයන් හමුවූ පළමු අවස්ථාව මෙය වූ  අතර එහිදි පාක්ෂිකයන් විසින්  සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා ද  සුබ පැතුම් එක් කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හරීන් ප‍්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, එරාන් වික‍්‍රමරත්න, නලීන් බණ්ඩාර, දිලීප් වෙද ආරච්චි, තුෂාර ඉදුනිල් අමරසේන, තලතා අතුකෝරලා, චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.