පසුගිය සතියේ කැලණිය පට්ටිවිල ප්‍රදේශයේ පරිප්පු සැකසුම් කර්මාන්ත ශාලාවක සිදුවු අනතුරකින් සේවකයෙකු මියගොස් සිව් දෙනෙකු තුවාල ලැබීය. මෙම කර්මාන්ත ශාලාව තුළ සිදු වූ ප්‍රථම අනතුර මෙය නොවේ. 2015 වසරේ මාර්තු මාසයේ ද මෙවැනි අනතුරක් සිදුවී ඇති අතර එහිදීද සේවකයෙකුගේ දිවි අහිමි විය.
කැලණිය පට්ටිවිල, ගෝනාවල ප්‍රදේශයේ පිහිටි මෙම පෞද්ගලික කර්මාන්ත ශාලාවට ඉන්දියාව ඇතුළු විදෙස් රටවලින් පියලි නොකරන ලද පරිප්පු වරායෙන් කන්ටේනර් මගින් ගෙනවිත් මෙහි ඇති අඩි 90 ක් පමණ උසැති සිලින්ඩාකාර යකඩ සහ අලුමිනියම් මිශ්‍රිත ගබඩා ටැංකිවල ඒවා ගබඩාකොට නළ මගින් හා යාන්ත්‍රානුසාරයෙන් මිනිස් ශ්‍රමය උපයෝගි කොටගෙන කර්මාන්තයේ කටයුතු පවත්වාගෙන යමින් ඒවා සුද්ධ පවිත්‍රකොට ඇසුරුම් කිරීම දක්වා ක්‍රියාවලිය සිදු කරයි. සාමන්‍යයෙන් ආනයනික බාහාලුම් 70ක පමණ පරිප්පු මෙහි එක් ටැංකියක පවතින අතර මෙවැනි ටැංකි තුනක් 2015 අනතුර වන අවස්ථාවේද එහි තිබී ඇත.
අක්කරයකට වඩා වැඩි භූමි ප්‍රමාණයක විශාල සේවකයන් ප්‍රමාණයකට රැකියා ලබා දෙමින් මෙහි කටයුතු සිදු කරගෙන යයි. එළියේ තිබෙන විශාල ටැංකිවලින් නළ මාර්ගවලින් පරිප්පු සුද්ධ කිරීමේ ක්‍රියාවලිය සිදුවන අතර සාමන්‍යයෙන් එක නළයක විශාලත්වය අඩි දෙකත් දෙකහමාරක් පමණ වේ.
සාමන්‍යයෙන් මේ නළවලින් විනාඩි කිහිපයක් තුළ විශාල පරිප්පු ප්‍රමාණයක් පිටතට එයි. යම් හෙයකින් සේවකයෙකු ලෙස්සා එම පරිප්පු දෙසට ගියහොත් විනාඩි ගණනක් තුළ ඔහු අනෙක් සේවකයන් විසින් ‘සවල්’ යොදා පරිප්පු ඉවත්කර ගත යුතුයි. සාමන්‍යයෙන් පරිප්පු ගොඩමත පුද්ගලයෙකුට සිටීමට නොහැකිවන තරම්මය. එයට හේතුව වන්නේ එම පුද්ගලයාගේ බරට ඔහු ඇතුළතට තල්ලුවී යෑමයි.
2015 වසරේ සිදු වුයේ මෙවැනි ක්‍රියාවලියකි. එළිමහනේ තිබෙන අඩි 90 ක් පමණ උස ටැංකි තුනෙන් පරිප්පු ගබඩා කර තිබූ එක් ටැංකියක් කඩා වැටීම නිසා එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැඩ කරමින් සිටි සේවකයෙකු පරිප්පු ටොන් ගණනාවකට යටවීමෙන් ජීවිතය අහිමි විය. මේ වසරේ පසුගිදා සිදු වූ අනතුර සිදුවී ඇත්තේ ද එවැනි පරිප්පු බාහාලුමකට යටවී එම ජීවිතය බේරා ගැනීම සඳහා වැඩි කාලයක් ගතවීම හේතුවෙන් එම පුද්ගලයා මරණයට පත් වීමකි. ඔහු පරිප්පු පිරිසුදු කරන සිලින්ඩරයක සිදු වූ ඇන හිටීමක් පරීක්ෂාවට ගොස් මේ අනතුර සිදු වු බව ද දැන ගන්නට ඇත.
මෙවර අනතුරෙන් දිවි අහිමි වු 39 හැවිරිදි එම්. ජේ. එම්. ෆවාස් පදිංචිවි සිටින්නේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කලාපයට අයිති හෙම්මාතගම නගරයට තරමක් ආසන්නයේ පිහිටි හිද්රාගම ප්‍රදේශයේය.
මේ මියගියේ මගේ පුතා. එයාට අවුරුදු 39 ක් වෙනවා. මේ පුතා සිංහල මුස්ලිම් ගොඩාක් දෙනෙක් හඳුනාගත්ත හොඳ කෙනෙක්. මෙහෙම හිටපු පුතා රැකියාවක් සොයාගෙන කොළඹ ප්‍රදේශයට ගියා. මෙම ස්ථානයට රැකියාවට ගියේ 2013 වර්ෂයේ. ඒදා ඉඳලා මේ ස්ථානයේ රැකියාව කරගෙන හොඳට හිටියා. මියගිය පවාස්ගේ පියාවන එම්.අයි.එම්. නජුඞ් මහතා පැවැසීය.
සටහන - මාවනැල්ල සමන් විජය බංඩාර
ඡායාරූප -කැලණිය ලාල් එස් කුමාර