පෙම්වතියගේ ගෙල කැපූ ‘‘මුහුණු පොතේ’’ පෙම්වතා


වඳුරකුට දැලි පිහියක් ලැබුණොත් කුමක් සිදුවනු හැකිදැයි කිසිවෙකුට කිව නොහැක. ඒ එය භාවිත කරන ආකාරය ගැන වඳුරාට අවබෝධයක් නැති නිසාය. දැලි පිහිය කියන්නේ ඉතා තියුණු ආයුධයක්. එය රැවුල කපන්න වගේම තමන්ගේ බෙල්ල නැත්නම් තමන්ගේ හතුරෙක්ගේ බෙල්ල කපන්න වුවද භාවිත කළ හැකිය.   

 


  සැකකරු වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ අවස්ථාවේ මූලික ප‍්‍රතිකාර සිදු කළ අයුරු  

 

මුහුණු පොත, ට්විටර් ගිණුම් වගේම ස්කයිප් පවා ඇතැම්විට දැලිපිහි වැනිය. භාවිත කරන්නේ කෙසේද? කුමක් සඳහා ද? සීමාව කුමක්ද? නොදැන භාවිත කිරීමෙන් තමන්ද අමාරුවේ වැටී අවට සිටින්නන් ද අමාරුවේ දැමීමට මේවා භාවිත කළ හැකිය. දෙහිවල සරණංකර මාවතේ පදිංචි දෙදරු පියෙකුට ද මුහුණු පොත අනිසි ලෙස භාවිත කිරීමේ අනිටු විපාක විඳින්නට සිදුව තිබේ. ඔහු අද වන විට රිමාන්ඞ් බන්ධනාගාර භාරයට පත්ව බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවල් මධ්‍යයේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී. විවාහක දෙදරු පියෙකුව සිටිය දී බොරු කියා තවත් තරුණියක් විවාහ කර ගැනීම, එම තරුණියට නැතහොත් ඔහුගේ අනියම් බිරිඳට මන්නයකින් කොටා තුවාල සිදුකිරීම හා තමන්ගේ ජීවිතය තොරකර ගැනීමට උත්සාහ කිරීම ඔහුට ඇති චෝදනාවන්ය.  


 දෙදරු පියෙකු වන සැකකරුට මුහුණු පොතේ ගිණුමක් තිබේ. නවීන පහසුකම් සහිත සිය ජංගම දුරකථනයෙන් නිතර මුහුණු පොතේ සැරිසැරුවේය. තරුණියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ ඔහු ඔවුන්ගේ මුහුණු පොත්වල පළකරනු ලබන ඡායාරූප හෝ කවි සංකල්පනාවලට හෝ තමන්ගේ ප‍්‍රතිචාර දැක්වීමට අමතක කළේ නැත. එසේම ඇතැම් අය සමඟ මුහුණු පොතෙන් චැට් කරන්න ද උත්සාහ කළේය. මේ චැට් එකෙන් ඔහුට පිළියන්ඳල මඩපාත ප‍්‍රදේශයේ තරුණියක් වඩාත් සමීප කරගත හැකි විය.   


 තමන්ට අමතන පුද්ගලයා තිස්හතර වැනි වියේ පසුවන දෙදරු පියෙක් වුවත් මුහුණු පොතේ වචන ලෙස කෙටෙන අකුරු අතරින් මැවෙන ආදරණිය වචනවලින්, මුහුණු පොතේ පළවන ඡායාරූපවලින් ඒ කිසිවක් පේන්නේ නැත. සැකකරුගේ ආකර්ශනීය වදන්වලින් කුල්මත් වූ ඇය මෙතෙක් හදවතේ සිරකර ගෙන තිබූ ආදරයට දෝරේ ගලායන්නට සැලැස්වූවාය. මේ මුහුණු පොතේ කතා බහ තරමක් දුරදිග යද්දී ඔවුන්ට මුහුණු පොතේ ඡායාරූපවලින් සෑහීමකට පත්වන්නට නොහැකි විය. ඒ නිසා ඔවුන් මුහුණට මුහුණ හමුවන්නට තීරණය කළහ. ඔවුන් නොයෙක් තැන්වලදී හමුවූහ.  


 තරුණියගේ නිවසට ද මේ සම්බන්ධය දැනගන්නට ලැබිණ. ඉදිරිපත් කළ තොරතුරු අනුව මේ සම්බන්ධයට විරුද්ධ වීමට තරම් හේතුවක් තරුණියගේ දෙමාපියන්ට නොවිණ. මොහු විටින් විට විදේශ ගතව රැකියා කළ අයෙක් නිසා යහමින් මුදල් තිබිණ. තරුණියගේ නිවසේ අවශ්‍යතා සඳහා ද දෙමාපියන්ට අවශ්‍ය බේත් හේත්වලට ද සැකකරු ලෝබකමක් නැතිව විය පැහැදම් කළේය. ඒ නිසා තරුණියගේ දෙමාපියන්ගේ ආශිර්වාදය නව පෙම්වතුන් යුවළට නොඅඩුව හිමි විය. ඒ නිසා තරුණයා තරුණියගේ නිවසට ද නිතර යන්න එන්න විය. සැක සිතන්නට කිසිවක් තිබුණේ නැත. තරුණයාගේ දෙමාපියන් ගැන විමසූ විට සැකකරු බොරුවක් කීවේය. තමන්ගේ නිවස බවට ඔහු දෙහිවල ප‍්‍රදේශයේ නිවසක් පෙන්වා ඇති බවද පොලිසිය පවසයි. සැකකරු තරුණියගේ දෙමාපියන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීමට සමත් වූ තරම කෙසේද යත් ඔහුගේ ගෙවල් දොරවල් ගැන දෙමාපියන් ගැන තවදුරටත් විමසන්නට තරම් ඒ දෙමාපියෝ උත්සාහ නොකළහ.   


 බාධාවකින් තොරව වසරක පමණ කාලයක් ප්‍රේමයෙන් වෙලී සිටි දෙදෙනා එක් සන්ධිස්ථානයකට පැමිණියහ. තව මාසයකින් පමණ තමන්ට සෞදි ආරාබියේ රැකියාවකට යන්නට තිබෙන බවත් ඊට පෙර විවාහය සිදුකළ යුතු බවත් සැකකරු තරුණියගේ දෙමාපියන්ට දැනුම් දුන්නේය. වසරක් තිස්සේ ආව ගිය තරුණයා රට ගියාට පසු වෙනස් වුවහොත් තම දියණියට සිදුවන්නේ කුමක්දැයි තරුණියගේ දෙමාපියෝ සිතන්නට ඇත. ඒ නිසා ඔවුන් සැකකරු විදේශ ගත වීමට පෙර දියණියගේ විවාහය සිදුවන්නේ නම් මැනවැයි සිතන්නට ඇත. කෙසේ හෝ පසුගිය අප්‍රේල් මාසයේ විසිහතර වැනිදා යෙදුණ සුභ මොහොතින් මේ ෆේස් බුක් පෙම් යුවළ විවාහ වූහ.  


 විවාහ සහතිකයටවත් තරුණයාගේ ලිපිනය ඇතුළත් කළේ නැත. එහි විවාහක යුවළගේම ලිපිනයන් ලෙස සඳහන් ​ෙවන්නේ තරුණියගේ ලිපිනයමය. තරුණියගේ දෙමාපියන් විසින් සූදානම් කළ විවාහ රෙජිස්ට‍්‍රාස්වරයෙක් හමුවේ මේ විවාහය ලියාපදිංචි කරනු ලැබිණ. තමන්ට මේ විවාහය සඳහා බාධාකාරී වන කිසිදු කරුණක් නැති බවට සහතික කරන සැකකරු තමන් අවිවාහකයෙක් බව විවාහ ලේකම් හමුවේ ද පවසන්නට මැලි වූයේ නැත.   


 විවාහය සිදුවී මසකට පමණ පසු සැකකරු රැකියාවකට සෞදි අරාබිය බලා පිටත් විය. ඒ අතරතුර ගෙවුණ කාලයේ දී සැකකරු විටින් විට අලූත් බිරිඳගේ නිවසින් දින කීපයකට බැහැරට ගියේය. ඒ රාජකාරි කටයුතු සඳහා බව පවසමිනි. ප‍්‍රශ්නය ආරම්භ වන්නේ සැකකරුගේ දෙවන විවාහය සිදුවීමත් සමඟය. සැකකරුගේ පළමු බිරිඳට ටික කලක සිට තම සැමියාගේ වෙනසක් සිදුවී ඇති බව දැනෙන්නට විය. දින කීපයක් නිවසේ සිටිනා සැමියා හිටිගමන් රාජකාරි කටයුත්තක් සඳහා යැයි පවසමින් නිවසින් පිටවී දින කීපයක් ගෙදර නෑවිත් සිටී. එහෙත් ඔහු ගිය රාජකාරිය කුමක්දැයි බිරිඳට සැක සංකා මතුවන්නට විය. ගෙදර දොර අවශ්‍යතා පිළිබඳව ද කලක සිට සැමියාගේ සොයා බැලීම, අවශ්‍ය විය පැහැදම් ලබාදීම නිසි පරිදි සිදුවන්නේ නැත. දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා නොකර බැරි කමට මෙන් ඔහු වියදම් කළත් බිරිඳ වෙනුවෙන් නම් කිසිදු මුදලක් දෙන්නේ නැති තරමටම ඔහු වෙනස් විය. මේ සියලු කරුණු නිසා සැමියා ගැන ඇතිවූ සැකයෙන් ඇය ඔහු ගැන සොයන්නට වූවාය.  


 ඇය ඇතැම්විට ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කරන්නටද ඇත. ඔහු යන එන මං ඔස්සේ හොරෙන් ගමන් කරන්නට ද ඇත. කෙසේ හෝ තම සැමියා මඩපාත ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හල් සේවිකාවක් සමඟ සම්බන්ධයක් පවත්වාගෙන යන බවට ඇය තොරතුරු සහිතව පසක් කරගත්තාය. ඒ ගැන සැමියාගෙන් විමසීමට යාමෙන් දෙදෙනා අතර ගැටුම් ඇති විය. අවසානයේ ඇය සැමියා අතහැර දරු දෙදෙනා ද සමඟ කුලී නිවසක පදිංචියට ගියාය.   


 සැමියා අනියම් සම්බන්ධකම පැවැත් වූ කාන්තාව සමඟ විවාහ වී පසුව විදේශ ගතව ඇති බව ද ඇයට දැනගන්නට ලැබිණ. ඒ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත් ඇය මඩපාත තරුණියගේ නිවස සොයා ගියේ දරු දෙදෙනා ද සමඟය. දරු දෙදෙනා පමණක් නොව ඔවුන් සැකකරුගේම දරුවන් බව ඔප්පු කිරීම සඳහා තම විවාහ සහතිකයත් දරුවන්ගේ උප්පැන්න සහතිකත් රැගෙන යාමට ද අමතක නොකළාය. දෙවැනි බිරිඳගේ දෙමාපියන්ගේ ඉහමොළ රත්වන්නට වූයේ මේ කතාව ඇසීමෙන් පසුවය. තමන් හොඳටෝම රැවටී ඇති බවත් තම දරුවා අමාරුවක වැටී ඇති බවක් පසක් කරගත් ඔවුන් මේ සම්බන්ධතාවය මෙතනින්ම අවසන් කරන්නට සිතූහ. දරුමල්ලන් හදාගෙන තව තවත් අමාරුවේ වැටෙන්නට පෙර මෙය දැනගැනීමට ලැබීම ගැන සතුටු වූ ඔවුන් දියණියගේ දික්කසාදය සඳහා සූදානම් වූහ.   


 දෙවැනි බිරිඳ තමන්ගෙන් වෙන්වීමට දික්කසාදය ඉල්ලා අධිකරණයේ නඩුවක් පවරා ඇතැයි දැනගන්නට ලැබීමෙන් විදේශ ගතව සිටි සැකකරු කලබලයට පත් විය. පළමු බිරිඳ අත්ඇරියත් විසිඑක් හැවිරිදි නව යොවුන් තරුණියක වන දෙවැනි බිරිඳ අත්ඇරීමට ඔහු කිසිසේත්ම සුදානම් නැත. මේ දික්කසාදය වළක්වාගත යුතුය. ඒ නිසා ඔහු වහාම ලංකාවට පැමිණියේය. තරුණියගේ නිවසේ අයට දුරකථනයෙන් කතා කර ගැටලුව විසඳාගැනීමට උත්සාහ කළත් විසඳුමක් නොලැබිණ. ආදරය වෛරයක් බවට පත්විය. මාව අත්ඇර හොඳින් ඉන්න ඉඩ දෙන්නේ කෙසේදැයි සිතු සැකකරු රුපියල් එක්දහස් එක්සිය පනහක් ගෙවා වෙළඳසැළකින් මන්නයක් මිල දී ගත්තේය. දෙවන බිරිඳ රැකියාවට එන මග පිළියන්දල-කොට්ටාව මාර්ගයේ මිරිස්වත්ත හන්දිය ආසන්නයේ රැක සිටියේය. සහෝදරයාද සමඟ පා ගමනින් පැමිණි දෙවැනි බිරිඳට මන්නයෙන් කෙටු සැකකරු පසුව තමන් ද වස පානය කළේය. වසා පනය කර කෑ ගසමින් ඒ මේ අත දිවගිය සැකකරු පසුව මහමග ඇද වැටුණේය.

 
 තුවාල ලැබූ නැගණිය වහාම ත‍්‍රී රෝද රථයකින් පිළියන්ඳල රෝහලට ගෙන යාමට සහෝදරයා කටයුතු කළත් සැකකරු රෝහල කරා ගෙන යාමට කිසිවෙක් ඉදිරිපත් වූයේ නැත. පොලිසියට ලද ඇමතුමකට අනුව එහි පැමිණි පොලිස් නිලධාරින් ඔහුව රෝහලට ගෙන ගිය අතර එම ස්ථානයේ තිබී ලේ තැවරුණ මන්නය ද අත්අඩංගුවට ගනු ලැබිණ. පිළියන්ඳල රෝහලේ දී දෙදෙනාටම මූලික ප‍්‍රතිකාර කළ අතර සැකකරු කළුබෝවිල ශික්ෂණ රෝහලටත් ඔහුගේ මන්න පහර කෑ දෙවැනි බිරිඳ කොළඹ ජාතික රෝහලටත් යොමු කරනු ලැබිණ.   


 තුවාල ලැබූ සැකකරුගේ දෙවැනි බිරිඳ තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන්නීය. සැකකරු දින කීපයක් කලුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ අතර පසුගිය 03 වැනිදා ඔහු සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කරනු ලැබිණ. ගංගොඩවිල වැඩබලන මහේස්ත‍්‍රාත් පී. මංචනායක මහතා රෝහලට පැමිණ සැකකරු පරීක්ෂා කර බලා මෙම මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කළේය.   


 මුහුණු පොතෙන් දැන හඳුනාගෙන පෙම් සුව විඳිමින් ජීවිතය වරද්දා ගත් සැකකරු හා දෙවන බිරිඳ පමණක් නොව මේ අසම්මත ප්‍රේමය නිසා අද සැකකරුගේ පළමු බිරිඳ හා දරු දෙදෙනා යන එන මං නොදැන දුක් විඳිති. ඔවුන් සියලු දෙනාගේ දෙමාපියන් ද මේ ප‍්‍රශ්නවලට මැදිව දුක් විඳිති. ජීවිත ගමන ගෙන යන්නේ කොතැනටදැයි නොදැන සුක්කානම කැරකැවීමෙන් ගමනාන්තව ප‍්‍රපාතයක් වන්නට ද හැකිය. ඒ නිසා ජීවිතයට අරමුණක්, ඒ අරමුණ කරා යාමට නිසි මාර්ගයක් සකස් කරගැනීම අප කාටත් හිතකර වනු ඇත.   


 පිළියන්ඳල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ, උප පොලිස් පරීක්ෂක නුවන් ප‍්‍රභාත්, පොලිස් කොස්තාපල් වරුන් වන (71425) කුෂාන්ත, (83107) රත්නායක යන නිලධාරීහු විසින් වැඩිදුර විමර්ශන සිදුකරති.   

 

මුදිතා දයානන්ද සමඟ
බිමල් ශ්‍යාමන්