ශ්රී ලංකාවේ එක් වර්ෂයක් තුළ මහ මැතිවරණ දෙකක් පැවැත්වීමට සිදුවූ අවස්ථාවක් මැතිවරණ ඉතිහාසය තුළ පවතී. මෙම සටහන ඒ පිළිබඳව සහ ඒ වකවානුවේ දේශපාලන තතු පිළිබඳව කෙරෙන විවරණයකි.
1960 මාර්තු 19 වැනිදා පැවති මහ මැතිවරණයට වඩා 1960 ජූලි 20 දින පැවති මහ මැතිවරණය උණුසුම් ස්වරූපයක් ගත්තේය.
මේ මැතිවරණයට කොමියුනිස්ට් පක්‍ෂය සහ ලංකා සම සමාජ පක්‍ෂය - ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තරග කරන මැතිවරණ කොට්ඨාශ සඳහා ඔවුන් තරග නොකරනවාය යන්න ඇතුළත් ගිවිසුමක් මගින් සංධානගතවී, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් දායක වූහ. එහිදී නිශ්චිත බහුතර බලයක් සහිතව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජයග‍්‍රහණය හිමිවී ලෝකයේ ප‍්‍රථම අගමැතිනිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බලයට පත් වූවාය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මාර්තුවේ ලත් මැතිවරණ පරාජය ගැන යම් විචිකිච්ඡාවක් ජනතාව තුළ තිබුණි නම්, එය ජූලි ජයෙන් වියැකී ගියේය.
කෙසේ වෙතත් ආණ්ඩුකරණයේ දී මැතිනියට යාමට සිදුවූයේ විල්ලුද ඇතිරූ මාවතක නොවේ.
1961 වසරේ ආරම්භයත් සමග ප‍්‍රධාන කර්මාන්ත ශාලාවල “වැඩවර්ජන” සුපුරුදු ලක්‍ෂණයක් බවට පත්විය. “කොළඹ වරායේ ඩොක් කම්කරුවන්” මැතිනියගේ ආණ්ඩුව පිහිටුවීමටත් පෙරාතුව වැඩි වැටුප් ඉල්ලා ඇරඹි වර්ජනය වඩාත් තීව්‍ර කළහ. කම්කරුවන්ගේ තත්ත්වය පිළිබඳව කලින් කරන ලද පරීක්‍ෂණයේ නිගමන - ඒ වෙන විටත් ප‍්‍රසිද්ධ නොකිරීම මුල් කරගෙන එසේ සිදුකෙරුණි.
හදිසි නීතිය ක්‍රියාත්මක කෙරුණු තත්ත්වයක් තුළ එම වර්ජනය නතර වුණි. ඉන් අනතුරුව පැමිණි බැංකු ලිපිකරු වර්ජනය දින 90 ක් පුරා පැවතුණි. ඉනික්බිතිව පැවැත්වුණු ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයන්ගේ වර්ජනය ද, වැල්ලවත්ත රෙදිමෝල් කම්කරුවන්ගේ වර්ජනය ද පදනම් වී කම්කරු පන්තිය සහ මැතිනියගේ ආණ්ඩුව අතර බරපතළ ප්‍රතිවිරෝධතාවයකට කරළිය සකස් වී තිබුණි. මැතිනිය වැඩ වර්ජිත කම්කරුවන් කෙරෙහි පසමිතුරු ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා යැයි හතර අතින් විවේචන එල්ල වුණි.
මෙම පසුබිම තුළ වෘත්තීය සමිතිවල එක්සත් භාවයේ හා ඒකාබද්ධතාවයේ අවශ්‍යතාව වර්ජකයින්ට තදින් දැනුණි. අවසානයේ එය වමේ පක්‍ෂ වල එක්සත් භාවයේ අවශ්‍යතාවයක් ලෙස මතු වූයේය. ලංකා සම සමාජ පක්‍ෂය කියා සිටියේ - වැඩ කරන ජනතාවගේ මේ අරගලය තුළ ඇති වූ එක්සත් බව තුළින් කම්කරු පංතියේ විඥානය වර්ධනය වෙනු ඇති බවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුව පිළිබඳව කම්කරු පංතිය තුළ පැවති බොහෝ මිත්‍යාවන් එම අරගල මගින් විනාශ කර දමා ඇති බවය. වෘත්තීය සමිති මට්ටමේ අරගල මගින් තමන්ට තවත් වැඩි දුරක් යා නොහැකි බවත්, සමස්ථ දේශපාලන තන්ත‍්‍රයම අභියෝගයට ලක් කරන්නා වූ දේශපාලන අරගල අවශ්‍යව ඇති බවත්, එම අරගල මගින් දැනුවත් කම්කරුවන්ගේ දේශපාලන සබුද්ධිකත්වය ප්‍රවර්ධනය කළ යුතු බවත් ය. ඒ අනුව වමේ පක්ෂ අතර එක්සත් භාවයක අවශ්‍යතාව ගැන සාකච්ඡා මතු වූයේය. මේ තත්ත්වය තුළ බෙදී එකිනෙකාට එරෙහිව සිටි මෙම වමේ පක්‍ෂ - 1963 ආරම්භයේ පමණ සිට භේද ඉවතලා එක්සත් වීමේ ප‍්‍රයත්නයකට පිවිසෙනු දැකිය හැකිය.
සම සමාජ පක්‍ෂය වාමාංශික සමගිය පිළිබඳ අදහසට එකඟතාව පළ කළේය. පළමුවෙන් කොමියුනිස්ට් පක්‍ෂය හා මහජන එක්සත් පෙරමුණ අතරද, ඉන් අනතුරුව සම සමාජ පක්‍ෂය හා මහජන එක්සත් පෙරමුණ අතරද, ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විණි. මේ අනුව 1953 හර්තාලයේ 10 වැනි සංවත්සරය යෙදී තිබුණු 1963 අගෝස්තු 12 වන දින පක්‍ෂ තුනෙහි ඒකාබද්ධතාවයෙන් යුතු මංගල රැලියක් පැවැත්වීමට තීරණය කරන ලදී. එහිදී මුලසුන හෙබවීම වෙනුවෙන් - ලංකා සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ නායක දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන යන නායකවරුන් තිදෙනාම ඇතුළත් “සභාපති මණ්ඩලයක්” පිහිටුවා ගැනුණි. එම මංගල රැළිය පැවැත්වුණු අවස්ථාවේ දී “වාමාංශික එක්සත් පෙරමුණ” යන නාමයෙන් වාමාංශික පක්ෂ එකමුතුව පිහිටුවා ගන්නා ලදී. එය කම්කරු පංතිය අතර යෝධ පිබිදීමක් ඇති කළේය. මෙම තත්ත්වය තමුන් ගේ දේශපාලන අනාගතයට බලවත් තර්ජනයක් බව මැතිනිය ඇතුළු ඒ පාර්ශ්වයේ අයට වැටහුණි.
වාමාංශික සමගියෙන් උද්දාමයට පත් මෙරට කම්කරු පංතිය “වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයක්” පිහිටුවාගත් අතර - එහි මංගල රැළිය 1964 මාර්තු 21 දින ගාලු මුවදොර පිටියෙහි දී ප‍්‍රබල වෘත්තීය සමිති 14 ක මූලිකත්වයෙන් දැවැන්ත ජන සහභාගිත්වයක් ඇතුව ඇන්. ඇම්. ගේ නායකත්වය යටතේ පවත්වන ලදී. එම රැලියේ දී කම්කරුවන් විසින් දිනාගත යුතු ඉල්ලීම් 21 ක් රජයට ඉදිරිපත් කළ අතර, එම ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් - දැඩි වෘත්තීය අරගලයකට පිවිසෙන බව රජයට අනතුරු හඟවන ලදී.
තවත් සුවිශේෂී දෙයක් ද සිදුවිය. එය නම් - ඉතිහාසයේ පළමු වතාවට වතු කම්කරුවන්, නාගරික කම්කරුවන් සමග ඒකාබද්ධ වීමය.
විවිධ අර්බුද රැසක් මැද සිටි රජයට මෙම කම්කරු අභියෝගයට මුහුණ දීමට කිසිසේත්ම හැකියාවක් තිබුණේ නැත. ඉල්ලීම් 21 නොදී කල්මැරීමට ඉඩක් නැති බවත්, එසේම එය ලබා දීමට ද හැකියාවක් නැති බවත්, ආණ්ඩුව තේරුම් ගෙන තිබුණි. වාමාංශික එක්සත් පෙරමුණ විශාල ජන බලයක් සමග පෙරට ඒම එතරම් හිතකර නොවුණු නිසා මැතිනියට අප‍්‍රමාදව ගත හැකිව තිබුණේ, සතුරා විනාශ කිරිම හෝ සතුරා සමග මිත‍්‍ර වීම යන තීන්දු දෙකින් එකකි. ඒ අනුව ලංකා සමසමාජ පක්‍ෂය සමගින් හවුල් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මැතිනිය පිඹුරුපත් සකස් කළාය. එවකට රජයේ අමාත්‍යවරයෙකු වූ ටී. බී. ඉලංගරත්න සමසමාජ නායකයන් සමග සාකච්ඡා කිරීම සඳහා යොදවනු ලැබිණි. අවසානයේ දී සමසමාජ පක්‍ෂය රජයට එක්වීම සඳහා කැමැත්ත ප‍්‍රකාශ කළද, සී. පී. ද සිල්වා ප‍්‍රමුඛ අමාත්‍යවරු කිහිප දෙනෙකු විරුද්ධ වූ අතර - වාමාංශික පක්‍ෂ රජයට එක්කර ගතහොත් ඉල්ලා අස්වන බවට ඔවුන් තර්ජනය කළහ. මේ සම්බන්ධයෙන් 1964 මැයි 09 වැනිදා කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී වාමාංශික පක්‍ෂ හවුල් කර ගැනීමේ යෝජනාව ඉදිරිපත් කළ අතර, හවුල් වීමට විරුද්ධව ඡන්දය ලබා දී තිබුණේ 04 දෙනෙක් පමණි. සී. පී. ද සිල්වා පවා පක්‍ෂව ඡන්දය ලබා දී තිබුණ අතර, පක්‍ෂව ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාව 212ක් විය.
ඒ කෙසේ වෙතත් - වාමාංශික එක්සත් පෙරමුණ ලෙස ආණ්ඩුවට හවුල් වීම හා සබැඳිව පෙරමුණේ විරෝධතා ඇති විය. ඒ අනුව ධනේෂ්වර පක්‍ෂ සමග හවුල් වීම නොවිය යුතු යැයි එඩ්මන්ඩ් සමරක්කොඩි, මෙරිල් ප‍්‍රනාන්දු වැනි සමසමාජ නායකයන් ප‍්‍රකාශ කළ අතර - හවුල් විය යුත්තේ වාමාංශික එක්සත් පෙරමුණ වශයෙන් පමණක් යැයි ලෙස්ලි ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා හා බර්නාඩ් සොයිසා වැනි නායකයින් ප‍්‍රකාශ කළහ. ලංකා සමසමාජ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ හවුල් වීමේ යෝජනාව එක් ඡන්දයකින් පරාජය වූයේ - පක්‍ෂව ඡන්ද 20 ක් හා විරුද්ධව ඡන්ද 21 ක් ලැබීමෙනි. නමුත් මෙයින් පසුබට නොවූ ඇන්. ඇම්. පෙරේරා 1964 ජූනි මස 07 වන දින පක්‍ෂයේ සමුළුව කැඳවා ඡන්ද විමසීම කරන ලද අතර, එහිදී හවුල් වීමට පක්‍ෂව ඡන්ද 507 ක්ද විරුද්ධව ඡන්ද 176 ක්ද ලැබීමෙන් යෝජනාව සම්මත විය. අනතුරුව එඩ්මන්ඩ් සමරක්කොඩි, බාලා තම්පෝ, වී. කාරාලසිංහම්, මෙරිල් ප‍්‍රනාන්දු, ඩී. එස්. මල්ලවආරච්චි, එස්. ඒ. මාටිනස් හා ඩබ්. ධර්මසේන ප‍්‍රමුඛ “විප්ලවකාරී කණ්ඩායමක්” ලංකා සමසමාජ පක්‍ෂ නායකයින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවට ඇතුලූවීමේ ප‍්‍රතිඵලය වනු ඇත්තේ - විවෘත පංති සහයෝගිතාවය, ජනතාව අවමන් සහගත කිරීම, කම්කරු පංතිය භේද භින්න කිරීම හා අරගලයේ ඉදිරි දර්ශනය අතහැර සටන පාවාදීම යන චෝදනා නගමින් පක්‍ෂයෙන් ඛණ්ඩනය වූහ.
1964 ජූනි මස 11 වැනිදා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ලංකා සම සමාජ පක්‍ෂය පරමාර්ථ 14 ක් අඩංගු සමගි සම්මුතියට පෙරවරු 10.50 ට අත්සන් තබන ලදී. ඒ අනුව සමගි රජයේ නව අමාත්‍ය මණ්ඩලය රජගෙදර දී මැතිනිය ගේ ප‍්‍රධානත්වයෙන් දහවල් 12 ට යෙදුණු සුබ මොහොතින් දිවුරුම් දී වැඩ අරඹන ලදී.
සමසමාජ නායක ඇන්. ඇම්. පෙරේරා මුදල් ඇමතිධූරයත්, චම්ලි ගුණවර්ධන රජයේ වැඩ ඇමතිධූරයත්, අනිල් මුණසිංහ ජනසතු සේවා ඇමතිධූරයත් භාර ගත්හ. ඇමතිවරුන් දෙදෙනෙකු ඉවත්කළ යුතුය යන පිලිප් ගුණවර්ධනගේ කොන්දේසිය නිසා පිලිප්ට සභාගයේ දොර වැසිණි. කොමියුනිස්ට් පක්‍ෂය වුවමනාවෙන් සිටියත් ඊට ආරාධනයක් නොවූ හෙයින් ඊටද සභාගයට යාමට නොහැකි විය. මේ සිදුවීම් සමග මෙරට කම්කරු ජනතාව දහසකුත් එකක් බලාපොරොත්තු තබා ගත් වාමාංශික එක්සත් පෙරමුණ දෙදරා ගියේය.
එහෙත් මතභේදකාරි පුවත්පත් මණ්ඩල පනත සහ රා පනත ආදි ක්‍රියාමාර්ග සහ ඒවාට දැක්වුණු ප‍්‍රතිචාර ද හේතුවෙන් හය මාසයක් ගතවීමට පෙර මෙම සභාග රජය බිඳ වැටුණි. ඒ, 1964 දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව තුළදී රාජාසනයේ කතාව පරාජයට පත් කිරීමෙනි. එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරු 14 දෙනෙකු විපක්ෂයට වාසි වෙන අයුරින් ඡන්දය දුන් අතර - සී. පී. ද සිල්වා ගේ ප‍්‍රධානත්වයෙන් එම මන්ත‍්‍රීවරුන් විපක්‍ෂයට එක්වීමේ දී කළ ප‍්‍රකාශවලින් ගම්‍ය වූයේ, හවුල් රජය පිහිටුවන අවස්ථාවේ දී නිහඬව සිටියද වාමාංශිකයන් සමග එකතුවීම පිළිබඳව මේ පිරිස අකැමැත්තෙන් සිට ඇති බවය. 1964 දෙසැම්බර් 04 වැනිදා රාත‍්‍රී මැතිනිය ජාතිය අමතමින් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යන බව ප‍්‍රකාශ කළ අතර - මන්ත‍්‍රීවරු 14 දෙනෙක් පිටුපස සිට පිහියෙන් ඇන්න බව ද, ජනතාවට කියා සිටියාය.
ලෝකයේ පළමු අගමැතිනිය ගේ හවුල් ආණ්ඩුව ඒ අයුරින් බිඳ වැටුණ ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා ලංකා සමසමාජ පක්‍ෂයේ සහසම්බන්ධය සුරැකිව ඉදිරියට ද පවත්වා ගෙන ගිය අතර, පසුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය ද එම හවුල හා එක්වීමෙන් එය “තුන් හවුලක්” බවට පත්වී - දැඩි ඒකමිතියකින් යුතුව විපක්‍ෂයේ කටයුතු මෙහෙයවීමට සමත් වූහ. 1970 පැවති මහ මැතිවරණයෙන් ජය ගෙන, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අධික බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට මේ තුන් හවුලට හැකිකම ද ලැබුණි.
එම්. තාරික්