අරවින්ද අයියා


‘අරවින්ද අයියා’
තවමත් ඔහුගේ නම මාගේ දුරකථනයේ සටහන්ව ඇත්තේ එලෙසිනි. ඒ දශක දෙක හමාරකට එහායින් ඔහුගේ නම සටහන් කර ගත් පරිදිය. ඒ කාලය පුරා ඔහුගේ දුරකථන අංකය මෙන්ම මාගේ දුරකථන අංකයද වෙනස් වී නොමැත.
ඔහු අනුර කුමාර දිසානායකය. වර්තමාන ජනාධිපතිවරයාය. ඔහු ජනාධිපති වීමෙන් පසු ඔහු වෙනුවෙන් ලියන ලද බොහෝ සටහන් වියමන් අතරතුර තවත් එක් සටහනක් තබන්නට අදහසක් නැත. පිටු පුරා ලියවුණු එකී දීර්ඝ සටහන්වල ඔහුට උපදෙස් අවවාද හා මග පෙන්වීම් ද රැසක් තිබෙනු දක්නට ලැබුණි. එහෙයින් තවත් එවැනි සටහනක් තැබීමෙන් ඵලක් නැත.
කවර තත්ත්වයක් යටතේ හෝ ඔහු අවසානයේ අරමුණ ජය ගත්තේය. ඒ දුෂ්කර දීර්ඝ ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙසනි. ඒ ආ මග සුන්දර නොවූවක් බව මම ඉතා හොඳින් දනිමි. දුෂ්කර කටුක අමිහිරි අත්දැකීම් රැසක් මැද, වඩාත් සාධනීය වූ ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකිවීම පිළිබඳවත් ඔහුගේ නායකත්වය පිළිබඳවත් සුභ පැතීමට මෙය අවස්ථාවක් කර ගනිමි.
“සමාජ ව්‍යාපාරයක අරමුණ වනුයේ රාජ්‍ය බලය ලබා ගැනීමය. උපක්‍රමික දේශපාලනය තුළ ඒ සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කළ හැක”‍ යනුවෙන් මාක්ස්වාදී ඉගැන්වීම්වල සඳහන් වෙයි. එය විප්ලවය පමණක් යැයි  සිතන්නේ  අන්ත චින්තන  දිළින්දන් පමණකි. දක්ෂිණාංශික මතවාද මුල්බැසගත් ජන සමාජයකට වාම වාදී මතයක් රෝපණය කළ හැකි බව පමණක් නොව එය ජයග්‍රහණය කළ හැකි බවද ගෙවුණු කාලසීමාව තුළ ඔබ ප්‍රායෝගිකව ඔප්පු කර ඇත. සමාජ ව්‍යාපාරය ජයග්‍රහණයේ මාවතට ඔබ මෙහෙයවා ඇත. සමාජයේ බහුතරයක් එකී ජයග්‍රහණයේ ආස්වාදය තෘප්තිමත්ව අත්විඳින මොහොතක යළිත් ඔබට මෙලෙස ලියන්නට සිතෙයි.


ජයග්‍රහණයේ ඔල්වරසන්වලින් දෑස් නිලංකාර නොවී පොදු ජනතා ජයග්‍රහණ වෙත රට රැගෙන යාමේ අරමුණ පෙරදැරි කරගත්  දේශපාලනික සාක්ෂරතාව ඔබ සතුව ඇති බව විශ්වාස කරමි. මෙතෙක් ආ ගමන් මගේ සහෝදරත්වයේ දෑත් දිගු කළ අපරිමිත සහෝදරත්වයේ මිනිසුන් අමතක නොවීමේ මානවවාදී ගුණය ඔබ සතුව ඇතැයි සිතමි.
එවන් වූ මිනිසුන් මගහැරෙන්නට ඉඩ නොදෙනු ඇතැයි සිතමි.
සතුරා ගැන තවදුරටත් බිය විය යුතු නැත. මන්ද සතුරා සියලු‍ අවි ආයුධ වලින් දමා ගසා හමාරය. සතුරාට සොයන්නට අලු‍ත් අවි නොමැත. එයින් වර්තමාන සුබ පතන්නන්ගෙන්, ප්‍රශස්ති ලියන්නන්ගෙන් පරෙස්සම් වීමට අවශ්‍ය සංවේදී භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
“අප ඉපදුණු ලෝකයට වඩා, වඩාත් නිදහස් නිවහල් ලෝකයක් කරා අපේ රට රැගෙන යාම පිළිබඳව අප තුළ වූ බලාපොරොත්තුව සාහිත්‍ය කෘතියක බලාපොරොත්තුවක් පමණක් නොවී යථාර්ථයක් කිරීමට ඔබට හැකි වේවා” යැයි පතමි.
සත්තකින්ම මම ඔබ පිළිබඳව බලාපොරොත්තු පළ කරමි. කවර සමාජීය  තත්වයකදී වුවද  කෙතරම් කාර්යබහුල වුවද දුරකථන ඇමතුමක් දී “කොහොමද විස්තර ”‍යැයි අසන්නට තරම් නිහතමානී  වූ ඔබගේ දුරකථන අංකය
‘අරවින්ද අයියා ’ලෙසටම තබා ගනිමි.
ප්‍රදීප් දසනායක