කොබෙයියන් සමඟ සටනට වටු කුරුල්ලන් නොව රාජාලියකු දැමිය යුතුයි


(කාංචන කුමාර ආරියදාස)

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොබෙයියකු  ගැන කතා කරන බවත් කොබෙයියෙක් සමඟ සටන් කිරීමට වටු කුරුල්ලන් හෝ වෙනත් පක්ෂියෙක් සුදුසු නැතැයි ද ඒ සඳහා රාජාලියෙකු සටනට දැමිය යුතු යැයි  ද එම රාජාලියා සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානයේ මාධ්‍ය හමුව දඹුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක දී අද (13) පැවති මේ බව කීය.

එම හමුව සඳහා සභාපති දුමින්ද බණ්ඩාරනායක ජාතික ලේකම්  මාර්ටින් වික්‍රමසිංහ සහ තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා මෙසේ කීය.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා නම් කර තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ ලබන 18 දා සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවත් එහෙත් තවමත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට නොහැකි වී තිබෙන බවය. කඩිනමින් එය පත් කළ යුතු යැයි ප්‍රකාශ කළ හෙතෙම කියා සිටියේ අනිවාර්යයෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස උතුර නැගෙනහිර සහ දකුණු ඉල්ලන එකම නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා බවය.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස  සජිත්  ප්‍රේමදාස මහතා නම් නොකළහොත් ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහතා ගන්න ඕනෑම තීන්දුවක් තීරණයක් සමඟ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය ඒකරාශී වන බවද සභාපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකදී පිළිතුරු දුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ අපේක්ෂකයන් ලෙස රටම ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් එය මහින්ද රාජපක්ෂ මහතා අනුමත කරමින් ඔහු ජනාධිපති අපේක්ෂකයා බවට පත් කළ නිසා රටේ බහුතර ජනතාව එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලෙසය.

විරුද්ධ පක්ෂයෙන්   හොඳම දුවන්න පුළුවන් අශ්වයා ගෝඨාභය රාජපක්ෂ නම් කර ඇති නිසා එක්සත් ජාතික පක්ෂයෙන් දිවීමට ඇති හොඳම ශක්තිමත්ම අශ්වයා සජිත් ප්‍රේමදාස මහතා බවත් තම පක්ෂයේ සිටින අනිත් අයට ගෝඨා සමඟ දිවිමට පාදවලට ශක්තියක් නොමැති බවද එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

රවී කරුණානායක,පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න  පිරිස  පක්ෂය විනාශ කිරීමේ කුමන්ත්‍රණය කරන බවද කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයට හොරා නාමයක් ගෙනාවේද රවී කරුණානායක බව කියා සිටියේය.

රවී කරුණානායක මහතාට මොලේ අමාරුවක් තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඇති පෞද්ගලික ආරවුලක් නිසා විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරන බවත්ද  අකිල විරාජ්, පාඨලී චම්පික රණවක, දොස්තර රාජිත සේනාරත්න යන අයට අවශ්‍යතාවය පවතින්නේ සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදී සිටීමට බවද හෙතෙම කියා සිටියේය.