ඇමැති මනෝ ගනේෂන් මෙවර මුහුණට මුහුණ හා සෘජු සංවාදයට එළැඹෙයි.
මාර කෙරුම්කාරයෝ ටිකක් ඉන්නවා කියලා පම්පෝරි ගැහුවට ආණ්ඩුව හැම ප්‍රශ්නෙදිම හත්පොළේ ගා ගන්නවා වගේනේ?
ආණ්ඩුව අසමත් නෑ. ආණ්ඩුව අසමත් කියලා මිනිස්සු කියනවා නම් ඒ කියන්න වෙලා තියෙන්නේ ආණ්ඩුවට විශාල අභියෝග රාශියකට මුහුණ දෙන්න වෙලා තියෙන නිසා. මේ ආණ්ඩුවට ආපු අභියෝග ටික කොහෙන්ද ආවෙ. ඒවා උඩින් වැටුණෙ නෑනේ. ආර්ථික අභියෝගය පළමුවෙනි එක. රිම් එකෙන් යන ආර්ථිකයක් තමයි රාජපක්ෂ මහත්තයලාගෙන් අපිට දෑවැද්ද විදියට හම්බවුණේ. ඒක රාජපක්ෂලගෙ පිට දාලා අපිට ඇඟබේරාගන්න බෑ. අපි ආණ්ඩුව ගත්ත නම් මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නත් ඕන. ඒකෙදි ටිකක් දුෂ්කරතාවයක් අපි හැමෝටම එනවා. අනෙක් පැත්තෙන් රටේ ජාතික ප්රශ්නය. මේකෙත් විශාල අභියෝග තියෙනවා. ඒකට විසඳුමක් විදියට අපි තෝර ගත්තේ අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම. ඒ වැඩපිළිවෙළ ලංකා ඉතිහාසයේ කිසිමදාක වුණේ නැති විදියෙ ප්රජාතන්ත්රවාදී මුහුණුවරකින් සිද්ධ වෙමින් පවතිනවා. සිරිමාවෝ මැතිනියත්, ජේ.ආර්. ජයවර්ධන මහත්තයත් ව්‍යවස්ථාව වෙනස් කළේ තමන් ළඟ ඉඳපු සමීප කීප දෙනෙක් එකතු කරගෙන. අද එහෙම නෑ. මේ සඳහා රටේම අදහස් විමසනවා. කමිටු කීපයක් පත් කරලා මේ ගැන හොයනවා.
අපි මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්නවලට විසඳුම් හොයන නිසා තමයි ආණ්ඩුව අසමත් කියලා සමහරු කියන්නේ. අද ප්රජාතන්ත්රවාදය වැඩි නිසාම තමයි අපි අමාරුවෙ වැටිලා තියෙන්නේ.
ඔච්චර ප්‍රජාතන්ත්‍රවාදීව ඕවා කෙරෙනවා නම් මහනායක හාමුදුරුවන්ගෙන් එහෙම මේවට අප්‍රසාදයක් එන්නේ මොකෝ?
ඒක මම කියන්නම්. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙ ඉන්ෙන් ආණ්ඩුවේ අය විතරක් නොවෙයි. ජේ.වී.පී. වගේ අය, ඒකාබද්ධ විපක්ෂෙ අය, ටී.එන්.ඒ. ඒකේ අය, ඊ.පී.ඩී.පී. එකේ අයත් එක්ක තමයි ආණ්ඩු පක්ෂෙ නියෝජිතයෝ මේකෙ ඉන්නේ. සමහරු මේ සාකච්ඡාවලදී සිද්ධවෙන තොරතුරු අරගෙන ගිහින් මහානායක හාමුදුරුවන්ට වැරදි චිත්‍රයක් මවනවා. මේවා එළිපිට ට්‍රාන්ස්පේරන්සි කෙරෙන නිසා තමයි ඒ වෙග දේවල් වුණත් කරන්න පුළුවෙන් වෙලා තියෙන්නේ. හාමුදුරුවොත් එක් එක් අයගෙ කතාවලින් මේ ගැන වැරදි අදහසක් ගන්න බැරි නෑ. ආණ්ඩුව අමාරුවෙ දාන්න උත්සාහ කරන අය තමයි මේ වැඩ කරන්නේ. මේ බොරු තොරතුරු උඩ තමයි මහානායක හාමුදුරුවෝ කලබල වෙන්නේ. දැන් අපි ඇත්ත තත්ත්වය මහනායක හාමුදුරුවන්ට පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේලා ඒක පිළිගත්තා. ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළාට පස්සේ ඒක මහානායක හාමුදුරුවන්ට පෙන්නලා ඒ ගැන සාකච්ජා කරන්නත් ජනාධිපතිතුමා පොරොන්දු වුණා. දැන් ඒ ප්රශ්නය නිල වශයෙන්ම අවසානයි.
ඔබ කර ගහලා තියෙන්නේ සංවේදී අමාත්‍යාංශයකට. මේ තාක් කරපු වැඩවල ප්‍රගතිය කොහොමද?
ඇත්තටම සැලකිය යුතු ප්‍රගතියක් තියෙනවා. දැනට රට තුළ සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ විශාල සංවාදයක් ඇතිවෙලා තියෙනවා. අද ඒක රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා. ඒකම ලොකු ජයග්‍රහණයක්. පහුගිය කාලේ මේක රටේ කතා බහට ලක්වුණේම නැති මාතෘකාවක්. යම් යම් ජයග්‍රහණ ලබාගෙන ඉදිරියට යන නිසා තමයි මේක අද රටේ මාතෘකාවක් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ සංවාදය මඟඇරලා ඉන්න බෑ රටේ කාටවත්. මේක රටේ පැවැත්මට අත්‍යවශ්‍යම සංවාදයක්.
සංහිඳියාව පිළිබඳව පහුගිය දවස්වල සංදර්ශන විලාසයෙන් වැඩසටහන් කීපයක් පැවැත්වුණා. අපි දැක්කා. සංදර්ශනවලින් එහාට ගිය ඇත්ත ජයග්‍රහණ හෝ වාසියක් සංහිඳියාව යදින මිනිස්සුන්ට ලැබුණද?
සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ විවිධ ආයතන රටේ තියෙනවා. මගේ යටතේ ජාතික සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය තියෙනවා. ජනාධිපතිතුමා යටතේ ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා අමාත්‍යාංශය. ඒ යටතේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාර්යාලයත් තියෙනවා. ඒ කාර්යාලය හරහා කෙරෙන වැඩවලට මට වගකියන්න බෑ. අමතක කරන්න එපා ඒක කාර්යාලයක්. මම කරන්නේ අමාත්‍යාංශයක්. මගේ අමාත්‍යාංශය යටතේ ආයතන කීපයක් තියෙනවා.
ඔබේ අමාත්‍යාංශය සහ සහජීවනය පිළිබඳ අනෙකුත් කාර්යාල හා ආයතනවලින් කෙරෙන වැඩ එකිනෙකට පැටලීමක් නැද්ද?
නෑ, කිසිම පැටලීමක් වෙන්ෙන් නෑ. ඒ අය කරන දේ ඒ අය කරගෙන ගියාවේ. මම වැඩිපුරම අවධානය යොමු කරන්නේ ජාතික සහජීවනය ගැන. සංහිඳියාව කියන වචනෙට වඩා සහජීවනය කියන වචනෙ ප්‍රබලයි. ඒක ඇතුළෙ පුළුල් අර්ථයක් තියෙනවා.
ජාතික ආණ්ඩු දීගය හෙට අනිද්දා කෙළවර වෙනවා කියලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂෙ අය කියනවා.
ඕක සමහරුන්ගේ සිහිනය. නැත්නම් ඕනකම. ආණ්ඩුවක් හැටියට අපි කාටවත් එහෙම ඕනකමක් නෑ. මේක 2020 වෙනකම් යනවා. ගිවිසුම්ගත කාලය ඉවර වුණාම අවශ්‍යතාව අනුව ගිවිසුම දීර්ඝ කරනවා. 2020 පස්සේ තමයි අපි තීන්දුවක් ගන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ සමහරු කියන්නේ හෙට අනිද්දා ආණ්ඩුවෙන් එළියට බහින්නෙ නිකං නෙවෙයි යූ.එන්.පී. යෙත් පදාස පිටින් ගලෝගෙන කියලා...?
ඕන කෙනෙකුට ඔය වෙග් කතන්දර කියන්න පුළුවන්. ඒත් ඔය කතා කියන කවුරුත් එළියට බහින්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට බහිනවද නැද්ද කියලා කියනවා නම් කියන්න ඕන මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. එයානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ නායකයා. එතුමා ළඟට පස්සේ පස්සෙ ආපු අයනෙ ඔය කතා කියන්නේ. ඒවා ගණන් ගන්න ඕන නෑ. මේවා ඒ අයගේ දේශපාලන බංකොළොත්කම වහගන්න කියන ඒවා. ඔය කියන අය පුළුවන් නම් වෙන වෙන පක්ෂවල කොටස් ගලවලා පෙන්නන්නකෝ.
දූෂණ විමර්ශන කමිටු කාර්යාලය වහලා දැම්ෙම් දැන් දූෂණ හොයලා ඉවරද?
නෑ..... නෑ...... මේක වැරදියට තේරුම් ගන්න එපා. දූෂණ හොයා බලන්න තිබුණු එකම කාර්යාලය මේක නෙවෙයිනේ. සී.අයි.ඩී. එක, එෆ්.ඩී.අයි.ඩී. එක, අල්ලස් කොමිසම, ජනාධිපති කොමිසම, පොලිසිය වගේ ඒවාත් තියෙනවනේ. මේවා ඔක්කොම කෝඩිනේට් කරන්න තමයි දූෂණ කමිටු කාර්යාලය දැම්මෙ. ඒක කෙටි කාලයකට විවෘත කළේ. ඒක වහලා දැම්මේ නෑ. ඒකෙ කාලය ඉවර වුණා. නැවත කාලය දිගු කළේ නෑ. ඒකෙන් කෙරෙන්න ඕන කාර්ය භාරය කළා. පහුගිය ආණ්ඩුවෙ අයගෙ පැමිණිලිත් මේ ආණ්ඩුවෙ අයගෙ පැමිණිලිත් මේ හරහා එකතු කර ගත්තා. දැන් ඒවා අදාළ ආයතනවලට බාර දෙනවා.
මේ ගැන ජනාධිපතිතුමයි අගමැතිතුමයි එක අදහසක නෑ නේද?
නෑ, එහෙම එකක් නෑ. දෙන්නම එකඟතාවෙන් තමයි මේ තීන්දුව අරගෙන තියෙන්නේ.
පහුගිය කැබිනට් රැස්වීමේදී මේ ගැන කතා කරද්දී ජනාධිපතිතුමා පරළ වුණා කියන්නේ ඇයි?
නෑ. එහෙම කේන්ති යෑමක් වුණේ නෑ. නීතිය හා සාමය අමාත්‍යාංශය යටතේ තියෙන එෆ්.සී.අයි.ඩී. එකත්, අධිකරණ අමාත්‍යාංශය යටතේ තියෙන නීතිපති දෙපාර්තමේන්තුවත් තවදුරටත් කාර්යක්ෂම වෙන්න ඕන කියලා තමයි එතුමා කිව්වේ. ඒක තමයි ඒවා ඔහු යටතට දෙන්න කියලා ඉල්ලුවෙ. මාස තුනකින් ප්‍රතිඵල පෙන්නයි කියලත් කිව්වා.
ජනාධිපතිතුමාට අවුරුදු දෙකක් ගියාද මේ ආයතන අකාර්යක්ෂමයි කියලා තේරෙන්න?
මේ ආයතන තමන්ගේ රාජකාරිය කරනවා. ඒවා අකාර්යක්ෂම නෑ. තවදුරටත් ඒක සීඝ්‍ර වෙන්න ඕන කියලත් එතුමා කිව්වේ. ඕනම දේක හොඳ-නරක පේන්න ටිකක් කාලයක් ඕන වෙනවනේ.
මනෝ ගනේෂනුත් කිව්වේ මේ ආයතන ජනාධිපතිතුමා අතටම දෙන්න කියලා?
ඔව්. ජනාධිපතිතුමාගෙ මේ කතාවෙන් පස්සේ මමත් කිව්වා එතුමා කියපු විදියටම මේවා එතුමා යටතට දෙන්න කියලා. එතුමාටම ඕන නම් පුළුවන් ඔහොම කිය කියා ඉන්නේ නැතුව ඒවා පවරාගන්නත්. චන්ද්‍රිකා ජනාධිපතිනිය මතකනේ යූ.ඇන්.පී. එකේ අමාත්‍යාංශ පවරා ගත්ත හැටි. මේ යහපාලන ආණ්ඩුවේදී එහෙම කටයුතු කරන්න මෛත්‍රිපාල ජනාධිපතිතුමා සූදානම් නෑ.
මේ ආණ්ඩුව ගෙනෙද්දි ඔබලගේ ලොකුම සටන් පාඨය වුණේ රාජපක්ෂලා හොරු කියන එක. හැබැයි අද රාජපක්ෂලා රකිනවා වගේ?
රාජපක්ෂලා අමුතුවෙන් රකින්නෙ නෑ. මේ පරික්ෂණවලට යම් කාලයක් අවශ්‍යයි. බලෙන් ඇදගෙන ගිහින් හිරේ දාන වැඩ යහපාලන ආණ්ඩුවෙන් කෙරෙන්න බෑනේ. නීතිය ක්‍රියාත්මක වෙන්න කාලයක් ගත වෙනවා. හරියටම පරික්ෂණ සිද්ධවෙලා තීන්දු තීරණ ලැබෙන්න ඕන. මේ විමර්ශන කිසිම එකක් මඟ නතරවෙලා නෑ. ඒවා දිගටම කෙරෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවෙ කාර්ය භාරය තමයි දැන් සිදුවෙමින් පවතින්නේ.
මාධ්‍ය නිදහස ගැන කතා කරමින් ආපු මේ ආණ්ඩුවෙ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා අපි දැකපු කෙනෙක්නේ මනෝ ගනේෂන්. දැන් මේ ආණ්ඩුව ගේන්න යන මාධ්‍ය නියාමනය ගැන ඔබ දන්න දේ කියන්නකෝ?
මම නම් ඒ ගැන මොකුත් දන්නේ නැ. අපේ ඇමැති මණ්ඩලේ අයත් ඔය වගේ දෙයක් ගැන දන්නෙ නෑ මං හිතන්නේ. එක එක පුද්ගලයින්ගේ ඔළුවෙ තියෙන ඒවා තමයි එළියට දාන්නේ ඔය වගේ. මාධ්‍ය නිදහසට අත තියන්නෙ නෑ මේ ආණ්ඩුව. අපි ඒක කරන්න ඉඩ තියෙන්නෙත් නෑ. මාධ්‍ය මේ ආණ්ඩුවට කොච්චර පහර දුන්නත් අපි මාධ්‍යයට වැට බඳින්නේ නෑ.
රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය තියෙන්නේ ඔබ යටතේ. ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට විවිධ චෝදනා එල්ල වෙනවා. ඔබ මේවා ගැන හොයලා බලනවද?
ඔව්, ඒකේ වගකීම තියෙන්නේ මගේ යටතේ. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ මොකක් හරි චෝදනාවක් තියෙනවා නම් ඒ සම්බන්ධව පැහැදිලි සාක්ෂි එක්ක ඕනම කෙනෙකුට පුළුවන් පැමිණිලි කරන්න. දැනටත් ප්‍රදේශ දෙකක තියෙන රාජ්‍ය නොවන සංවිධාන දෙකක් ගැන ආපු පැමිණිලි අපි සලකා බලනවා. රාජ්‍ය නොවන සංවිධාන අහිතකර දෙයක් නෙවෙයි. ඒ වගේම ඒ මුවාවෙන් රටට අහිතකර දේවල් කරන්න දෙන්නත් බෑ. ලංකාවේ මොකක් හරි එන්.ජී.ඕ. එකක් ගැන කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙළින්ම මට ඒක කියන්න. මම ඒක හොයා බලන්නම්.
ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවේ යම් යම් දේ විවේචනය කරන්න ගිහිල්ලා ජනාධිපතිගෙන් හරි අගමැතිගෙන් හරි බැණුම් අහන්න එහෙම වුණේ නැද්ද?
එහෙම නම් කිසිම බලපෑමක් මට ඇති වුණේ නෑ මේ වනතෙක්. ඒක ඒ අයට ගෞරවයක් විදියට කියන්න ඕන. පහුගිය ආණ්ඩු නායකයෝ නම් ඇමැතිවරු ඇතුළු අය අරලියගහ මන්දිරේට ගෙන්නලා හොඳින් කතා කරලා කාමරේට එක්ක ගිහින් කරපු දේවල් මිනිස්සු දන්නවා. දැන් එහෙම ඒවා වෙන්නේ නෑ.
සාකච්ඡා කළේ
ප්‍රියන්ත කොඩිප්පිලි