(*** මුදිතා දයානන්ද)
මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක් ගන්නවා කියලා පාරම්බාපු ආණ්ඩුව දැන් මන්ත්‍රී ධුර එකසිය විසිපහක් ගන්න කතා කරනවා. ඔවුන්ට ඔවුන් ගැනම තිබුණ ෂුවර් එක නැති වෙලා. මැතිවරණයෙන් ලැබෙන්නේ ඊටත් අන්ත ප්‍රතිඵලයක් බව ඔවුන් දැනටමත් දන්නවා යැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්‍ෂක කණ්ඩායම් නායක කේ. ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (7) පැවසීය.
ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති ජාතික ජනබලවේගයේ වෘත්තීය සමිති නායකයින්ගේ මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු මෙසේද පැවසීය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අන්තිමටම වැඩිකළේ 2016 ජනවාරිවල. අපි ඊට කලින් සිට රුපියල් දහදාහක වැටුප් වැඩිවීමක් ඉල්ලා අරගල කළා. අපි ඉල්ලුවේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් හා දීමනා සියල්ල මූලික වැටුපට එකතු කරන ලෙසයි. ඒ බලපෑම නිසා රාජපක්‍ෂ ආණ්ඩුව 2015 ජනාධිපතිවරණයට කලින්ම රුපියල් තුන්දාහක් වැඩි කළා. 2015 බලයට පත්වූ ආණ්ඩුව රුපියල් දහදාහ කොටස් වශයෙන් අදියර කීපයකින් වැටුපට එකතු කළා. මේවා අපේ අරගලයේ ප්‍රතිඵල.
වර්තමාන භාරකාර ආණ්ඩුව අත්‍යවශ්‍ය බඩු 26 කට දැන් බදු ගහලා. ඒ නිසා ජීවන වියදම වැඩිවෙලා. ඒක තදින්ම බලපාන්නේ මේ රටේ ස්ථාවර වැටුපක් ගන්න වැඩ කරන ජනතාවට. ජීවන වියදම වැඩිවීමට සරිලන ලෙස කිසි දිනක ඔවුන්ට වැටුප් වැඩිවීමක් සිදුවී නැහැ.
2018දී වැඩ කරන ජනතාව කළ වැටුප් සටන්වල ප්‍රතිඵලයක් ලෙස රනුක්ගේ කමිටුව පත්කළා. ඒ කමිටුව 2020 ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළා. කැබිනට් එකත්, භාණ්ඩාගාරයත් එය අනුමත කළා. මේ ආණ්ඩුව බලයට ආපු ගමන් එය අත්හිටෙව්වා. මේ ආණ්ඩුව කොරෝනා පිට දාලා හෙද විදුහල් ශිෂ්‍යයන්ට එතෙක් ලබාදුන් දීමනාව අත්හිටෙව්වා. 2020 සිට විශ්‍රාමිකයන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප් වැඩිවීමත් මේ ආණ්ඩුව අත්හිටුවලා.
කලින් කිව්වා පෙබරවාරි විදුලි බිලට සමාන බිලක් මාර්තුවලට ගෙවන්න කියලා. ඒත් දැන් ඇවිත් තියෙන්නේ පාරිභෝගිකයාට දරාගන්න බැරි තරමේ විදුලි බිලක්. මේ විදිහට මේ ආණ්ඩුව හැම තැනම නිර්මාණය කරලා තියෙන්නේ අවුල්ම තමයි. බලය ගන්න කලින් කිව්වේ ගෝඨාභයගේ වැඩ නීට්, වැඩේ හරියට කරයි, රට ටොප් එකට නග්ගල ගනියි කියලා. දැන් පේනව නේද ‘ටොප්’ වැඩවල තරම.
මේ සියල්ල නිවැරදි කරගන්න, තමන්ගේ අයිතීන් දිනා ගන්න වැඩ කරන ජනතාවට වීදි බැහැලා අරගල කරන්න තරම් සෞඛ්‍යාරක්‍ෂිත තත්වයක් තවම රටේ නැහැ. ඒ නිසා අපි මේ රටේ වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ සටන ඡන්දයෙන් කරන ලෙස. ජාතික ජනබලවේගයේ අපේක්‍ෂකයෝ හැකි තරම් පාර්ලිමේන්තුවට යවා වැඩ කරන ජනතා සටන තව තවත් ශක්තිමත් කරන්න.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්‍ෂක මහින්ද ජයසිංහ මහතා
මේ ආණ්ඩුව බලය ගන්න ඉස්සෙල්ලා කිව්වේ සෞභාග්‍යයේ දැක්ම හරහා විශ්‍රාමිකයන්ට සම්භාවනීය පැවැත්මක් තහවුරු කරනවා කියලා. එහෙම කියපු අය බලය අරන් කොරෝනා එන්නත් කලින් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීම නතර කළා. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවල පොලිය සියයට පහළොවේ සිට සියයට අට දක්වා පහළ දමලා. බන්දුල ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ඒක පිළිගත්තා. ඒක ප්‍රතිපත්තිමය තීන්දුවක් කියලා කිව්වා. එදාම මහින්ද රාජපක්‍ෂ අගමැති කියනවා එහෙම පොලී පහළ දැමීමක් කරලා නැහැ, ඒක මාධ්‍ය විසින් පතුරුවන පට්ටපල් බොරුවක් කියලා. කවුරු කොහොම කිව්වත් ඇත්තටම පොලිය කපලා.
වතු කම්කරුවන්ට මාර්තු පළමුවැනිදා සිට රුපියල් දහසක දෛනික වැටුපක් දෙනවා කියලා මේ ආණ්ඩුව කිව්වා. ඒකත් තවත් පොරොන්දුවක් විතරයි. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු මේ සියලු ක්ෂේත්‍රවල වැඩ කරන ජනයා දැන් ඉන්නේ විශාල අර්බුදයක.
රාජ්‍ය සේවක වැටුප් කොරෝනා පිට දාලා බලෙන් කැපුවා. නැගෙනහිර, සබරගමු ගුරුවරුන්ගේ වැටුප් බලෙන් කැපුවා. අපේ මැදිහත්වීම නිසා ඉතිරි ප්‍රදේශවල ඒක නවත්ත ගත්තා. තැපැල් සේවකයින්ගේ දිනක වැටුප බලෙන් කැපුවා. එවැනි ආණ්ඩුවකට තවත් ඡන්දය දිය යුතුද කියලා අපි වැඩකරන ජනතාවගෙන් අහනවා. ඔබේ සටන පාර්ලිමේන්තුවේ කිසිදු පාවා නොදීමකින් කිරීමට නම් ජාතික ජනබලවේගයේ නියෝජිතයෝ හැකිතාක් පාර්ලිමේන්තුවට යවන ලෙස වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී ලංකා කම්කරු සම්මේලනයේ නියෝජිත මහින්ද රත්නායක මහතා හා ඩා බිඳු සාමූහිකය සංවිධානයේ නියෝජිත, ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂිකා චමිලා තුෂාරි මහත්මියද අදහස් දැක්වූහ.