දෙවැනි මනාපයේ වාසිය කාටද?



මෙවර 2024 ජනාධිපතිවරණ උණුසුම කෙමෙන් කෙමෙන් වැඩිවෙමින් තිබෙන අතර ජනාධිපතිවරණ අපේක්ෂක සංඛ්‍යාවද ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. මේ නිසාම මෙතෙක් ප්‍රබල අපේක්ෂකයන් දෙදෙනෙකුට පමණක් සීමා වූ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය මෙවර වෙනස් මුහුණුවරක් ගනු ඇතැයි පෙනෙන්නට තිබේ. ඒ අනුව මෙතෙක් අදාළ වී නොමැති වුවද, මෙවර මනාප ගණනය කිරීමේදී දෙවැනි මනාපය ගණන් කිරීමේ අවශ්‍යතාවක් මතුවිය හැකි බව පෙනෙන්නට තිබේ. එබැවින් දෙවැනි මනාපය සලකුණු කරන ආකාරය පිළිබඳව ඡන්දදායක ඔබ දැනුම්‍වත්ව සිටීම වැදගත් වේ.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දයකදී ජයග්‍රාහකයා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද සියයට පනහක් සහ තවත් එක් ඡන්දයක් (50% + 1) ලබාගත යුතුව ඇත. උදාහරණයක් ලෙස ලැබී ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 100 ක් නම් ජයග්‍රහණය කිරීමට ඡන්ද 51 ක් ගත යුතුය. අපේක්ෂකයින් අතරින් වැඩිම ඡන්ද ලබාගත් පුද්ගලයා මෙලෙස ඡන්ද සියයට පනහක් සහ තවත් හෝ ඊට වැඩි ඕනෑම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇතිනම් කිසිම ප්‍රශ්නයක් නොමැතිව ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කිරීමට හැකියාව ඇත. එසේ නොමැතිව අපේක්ෂකයන් තිදෙනෙකුට වැඩියෙන් සිටින අවස්ථාවක කිසිදු අපේක්ෂකයෙකුට සියයට පනහ ඉක්මවා ඡන්ද ලැබී නොමැති නම් ජයග්‍රාහකයා තේරීමේ ගැටලු‍කාරී තත්ත්වයක් මතුවේ. මෙවැනි අවස්ථාවක ජයග්‍රාහකයා තේරීමට දෙවැනි මනාපය සහ තෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවේ.

1982 සිට 2019 දක්වා පැවති ජනාධිපතිවරණ අටේදී ම තරගය පැවත ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙකු අතර බැවින් මෙලෙස දෙවැනි මනාපයක් ගණන් කිරීමට අවශ්‍ය වී නොමැත. නමුත් මෙවර 2024 ජනාධිපතිවරණ තරගයේ දී  ප්‍රධාන අපේක්ෂකයන් ප්‍රමාණය වැඩි වී ඇති අතර ඔවුන් අතර තරගයද වැඩි වී තිබේ. ඒ අනුව දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිරීමට සිදු විය හැක.

මෙය නැවත ඡන්ද විමසීමක් නොව, අදාළ ඡන්ද පත්‍රිකාවේම දැක්වෙන දෙවැනි හා තෙවැනි මනාප ගණන් කිරීමකි.

කිසිදු අපේක්ෂකයෙකු ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහක් සහ එකක් ( 50% + 1) ලබා නැත්නම් දෙවැනි වටයට යායුතුය. 

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දී තමන් ඡන්දය දෙන්නේ එක් අපේක්ෂකයෙකුට පමණක් නම් කතිරය හෝ අංක 01 භාවිත කර ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ඇත. එසේම තමන්ගේ කැමැත්තේ අනුපිළිවෙළ අනුව අපේක්ෂකයන් තිදෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමටද අවස්ථාව ඇත. ඒ අනුව ඡන්දදායකයන්ට මනාපයේ අනුපිළිවෙළ අනුව අපේක්ෂකයන්ට 1, 2, 3 අංක යොදා මනාප පළකරමින් ඡන්දය ලබාදිය හැකිය.  

දෙවැනි මනාපය ගණනය කරන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය උදාහරණ සහිතව කළ පැහැදිලි කිරීමක් මෙහි සඳහන් කරන අතර, එමගින් මනාප ලබාදීම සහ මනාප ගණනය කිරීම සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලැබෙනු ඇත.

උදාහරණයක් ලෙස A, B, C, D සහE යනුවෙන් අපේක්ෂකයින් පස් දෙනෙකු ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ යැයි සිතුවහොත්, සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 100ක් යැයි උපකල්පනය කරමින් සරල උදාහරණයක් අනුව දෙවැනි මනාපය සහ තෙවැනි මනාපය ගණන් ගන්නා ආකාරය පිළිබඳව මෙසේ පැහැදිලි කළ හැකිය. එවිට ඒ ඒ අපේක්ෂකයා ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව මෙසේ වේ නම්,  A = 40, B = 35, ක්‍ C= 15, D= 6, E= 4 මෙහි තරගය පවතින්නේ පළමුවැන්නා හා දෙවැන්නා වූ A සහ B අතර පමණක් යැයි සිතා ඡන්ද ගණන් කිරීමේදී සෙසු තිදෙනා වෙන C, D, E තරගයෙන් ඉවත් කෙරේ.

දෙවැනි වටය

ඒ අනුව දෙවන වටයේ දී තරගය පවතින්නේ A සහ B අතර පමණකි. එනම් දෙවැනි මනාප ලෙස එක් පුද්ගලයෙකු හෝ මෙම දෙදෙනාගෙන් එක් අයෙකුට ඡන්දය ප්‍රකාශ කර ඇත්නම් අදාළ පුද්ගලයා ජයග්‍රාහකයා වනු ඇත.

මෙම මනාප ගණන් කිරීමේදී පළමු හා දෙවන ස්ථාන ලබාගත් A සහ B ගේ ඡන්ද පත්‍රිකාවල ලකුණු කර ඇති මනාප පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේ නැත. ඒ වෙනුවට සලකනු ලබන්නේ ඉතිරි පුද්ගලයින්ගේ ඡන්ද පත්‍රිකාවල මනාප දක්වා ඇති ආකාරයයි. ඒ අනුව ඡන්ද 15ක් ලබා ගත් C ගේ ඡන්ද පත්‍රිකා සියල්ල සලකා බලනු ලැබේ. එහිදී එක්‍ අපේක්ෂකයෙක් සඳහා පමණක් ඡන්දය ලබාදී ඇති (කතිරය පමණක් හෝ අංක 01 පමණක් සලකුණු කර ඇති) ඡන්ද ඇත්නම් ඒවා ද ඉවත් කරනු ලැබේ.  එසේ කරන්නේ ඒවායේ වෙනත් අයෙකුට මනාප ප්‍රකාශ කර නොමැති බැවිනි. එම ඡන්ද පත්‍රිකාවල අංක 01, C සඳහා ද 02, A  හෝ B , සඳහා ලකුණු කර ඇති නම් A සඳහා ලකුණු කළ ඡන්ද පත්‍රිකා A ට වෙන් කර ඇති පෙට්ටියට ද B සඳහා ලකුණු කර ඇත්නම් B සඳහා වෙන් කර ඇති පෙට්ටියටද දමනු ලැබේ. එවැනි අවස්ථාවල ඔවුන්ගේ තුන්වැනි මනාපය හෙවත් අංක 03 ඉලක්කම ගැන සලකා බැලීම අවශ්‍ය නොවේ.

 C  සඳහා 1 ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවල 02 ඉලක්කම හෙවත් දෙවැනි මනාපය සටහන් කොට තිබුණේ D  හෝ E  සඳහා නම් එසේම අංක 03 ඉලක්කමක් හෙවත් තුන්වන මනාපය එහි සටහන් තබා ඇත්ද, යන්න එවිට පරීක්ෂා කර බලයි. එහිදී තුන්වැනි මනාපය සටහන් කොට නොමැති නම් ඒවාද ඉවත් කරනු ලබයි. දෙවැනි මනාපය D හෝ E සඳහා ප්‍රකාශ කර ඇති විට  තුන්වැනි මනාපය  ලකුණු කර  ඇත්තේ Aහෝ B සඳහා නම් එම ඡන්ද පත්‍රිකා අදාළ වන පරිදි A ගේ සහ B ගේ ඡන්ද සඳහා වෙන් කළ පෙට්ටිවලට දමනු ලැබේ. එහෙත් 2 මනාපය D සඳහා ලබා දී 3 සටහන් කොට ඇත්තේ E සඳහා නම්, එවිට E තරගයේ නොමැති බැවින් ඒවාද ඉවත් කරනු ලැබේ.

මේ ආකාරයට පළමු වටයේ දී පළමු හා දෙවැනි ස්ථාන ලැබූ අපේක්ෂකයන් දෙදෙනාට, දෙවන හෝ තුන්වැනි මනාප ගණන් කර එකතු වෙන ඡන්ද ප්‍රමාණය මෙම ගණනය මගින් වෙන් වශයෙන් ලබාගනියි. එම ඡන්ද ද එකතු කිරීමෙන් පසුව යළිත් වැඩිම මනාප ලබාගත් පුද්ගලයා තෝරනු ලබන අතර ඒ අනුව වැඩිම ඡන්ද ලබාගත් පුද්ගලයා ජයග්‍රාහකයා ලෙස තෝරා පත්කරගනු ලැබේ.

මෙය පැහැදිලි කරගැනීමට අවශ්‍ය නම් ඔබට මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින්ගේ නම් ආදේශ කර බැලීමටද හැකියාව ඇත. මෙවර ජනාධිපතිවරණය දැඩි තරගකාරීත්වයක් නිර්මාණය වී ඇති බැවින් ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපය සලකුණු කිරීම පිළිබඳ දැනුම්වත්ව සිටීම ඔබට වැදගත් වෙනු ඇත. 


  • චාමර සම්පත්