පාර්ලිමේන්තු ගිය වෘත්තිකයෝ



දේශපාලන වේදිකාව කාගේත් මතකයට නැගෙන්නේ පොර පිටියක් ලෙසිනි.  පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට සම්බන්ධ මැති ඇමතිවරුන් අතර ඇතිවන වාද විවාද ඇතැම් අවස්ථාවල අවසන් වූයේ ගුටි බැට හුවමාරු කර ගැනීමෙනි. එසේත් නැත්නම් අමු තිත්ත කුණු හරුපයෙන් බැණ වදිමින් හා එකිනෙකාට අපහාස උපහාස කර ගැනීමෙනි. එම දේශපාලන සංස්කෘතිය යටතේ මෙරට පාර්ලිමේන්තු පාලන ක්‍රමය ආරම්භවූ දා සිට මේ දක්වා කාලය තුළ අපේ මැති ඇමැතිවරුන් විශාල පිරිසකට පොලිස් නිලධාරීන්ගේ කරපිටින් සභාගැබෙන් ඉවතට යාමටත්, සති ගණන් පාර්ලිමේන්තු රැස්වීම් තහනමට ලක්වීමටත් සිදුවූ බව නොරහසකි. එමෙන්ම මෑත ඉතිහාසයේ දී ඇතැම් පුද්ගලයින් පාර්ලිමේන්තුව හැඳින්වූයේ හොරු, ජාවාරම්කාරයින් හෝ දූෂකයන් සිටිනා තැනක් ලෙසයි. 

මැතිසබය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ දිනවල කාගේත් කතාබහට ලක්වන්නේ දසවන පාර්ලිමේන්තුව පිළිබඳවයි. 1947 දී ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හේතුවෙන් ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුවක් හිමිවිය. ඒ සඳහා සභිකයන් පත්කර ගැනීම සඳහා පැවැත්වූ මැතිවරණය ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු පාර්ලිමේන්තු මැතිවරණය විය. 1947 සිට අද දක්වා පාර්ලිමේන්තු මැතිවරණ 16 ක් පවත්වා ඇත. එනම් 1947, 1952, 1956, 1960, 1965, 1970, 1977, 1989, 1994, 2000, 2001, 2004, 2010, 2015, 2020 යන වර්ෂයන්හීදීය.

ඉකුත් නොවැම්බර් 14 වන දා පැවැත් වූ මහමැතිවරණයෙන්  ජාතික ජන බලවේගය විශිෂ්ට ජයක් ලබාගත්තේය. එම ජයග්‍රහණය සමග මැතිසබයට නවක මුහුණු රැසක් එක්වූ අතර, පැරණි මුහුණු රැසක් විසිවී ගියේය. විසිවී ගිය මුහුණු අතර දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයන්ද සිටීම කාගේත් කතාබහට ලක්විය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය මෙරට විවිධ වූ පුවත් මවන්නට හේතුවිය.  වැඩිම කාන්තා නියෝජනය, වැඩිම වෘත්තිකයන්ගේ නියෝජනය,  වැඩිම මනාපලාභීන් බිහිවීම වැනි කරුණු ඊට හේතු විය. 

ජාතික ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ විජිත හේරත් මනාප 716,715ක් ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමුවැනියා විය. එය මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වනවාට අමතරව, ලංකා ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාවද වනු ඇත. මීට පෙර මැතිවරණයක දී එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය.

වෘත්තිකයන්  මැතිසබය නියෝජනය කිරීම අතීත මහමැතිවරණවලදීට වඩා මෙවර කැපී පෙනෙන ලෙස වැඩි වී තිබේ. මෙවර මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතීඥයන්, ගණකාධිකාරීන්, ගුරුවරුන්, ව්‍යවසායකයන්,  ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයන් ආදීහු අලුත් පාර්ලිමේන්තුව නියෝජනය කරති.

මෙම මැතිසබය නියෝජනය කරන වෛද්‍යවරුන් සංඛ්‍යාව 20 කි.   එතරම් වෛද්‍ය මන්ත්‍රීවරු සංඛ්‍යාවක් මැතිසබය නියෝජනය කළ අවස්ථාවක් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ නැත.  අලු‍තින් තේරී පත්වූ වෛද්‍යවරුන් අතරින් 17 ක් ජාතික ජනබලවේගය නියෝජනය කරන අතර - එක් අයෙකු ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන්ද‌, තවත් අයෙකු යාපනය ස්වාධීන කණ්ඩායම් අංක දාහතෙන් ද නියෝජනය කෙරේ. සමගි ජනබලවේගයේ හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මෙවර ද තේරී පත් වී තිබේ.

නවක මන්ත්‍රීවරු ලෙස තේරී පත්ව ඇති වෛද්‍යවරුන් මෙසේය.

  • වෛද්‍ය මොහොමඩ් රිස්වි
  • විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසේන
  • වෛද්‍ය නිහාල් අබේසිංහ සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • වෛද්‍ය නිශාන්ත සමරවීර
  • වෛද්‍ය සාලිය සඳරුවන් මදරසිංහ
  • වෛද්‍ය සුසිල් රණසිංහ
  • වෛද්‍ය ජගත් වික්‍රමරත්න
  • වෛද්‍ය ජනක සේනාරත්න
  • වෛද්‍ය නාමල් සුදර්ශන සහ වෛද්‍ය  ජගත් ගුණවර්ධන
  • වෛද්‍ය මුදිත් හංසක විජේමුණි සහ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන
  • වෛද්‍ය මධුර සෙනවිරත්න
  • වෛද්‍ය එච්. පී. ධම්මික පටබැඳි
  • වෛද්‍ය ශ්‍රීබවනන්ද රාජා සංමුගනාදන්
  •  වෛද්‍ය ඉලයතම්බි ශ්‍රීනාත්
  •  වෛද්‍ය රාමනාදන් අර්චුනා සමග
  •  වෛද්‍ය කාවින්ද ජයවර්ධන

මේ අතරින් අමාත්‍ය ධුර සඳහා වෛද්‍යවරු තිදෙනෙක් පත්වූහ.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස  දිවුරුම් දුන්නේය. පොලේගොඩ මහා විද්‍යාලයේ සහ මතුගම සී. ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවකු වූ නලින්ද ජයතිස්ස - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ලෙස ද කටයුතු කළේය. 

වෛද්‍ය උපාධිය ලබාගැනීමෙන් පසු වෛද්‍යවරයකු වශයෙන් සේවය කරමින් සිටියදී, 2007 වසරේදී රාජ්‍ය සේවයෙන් ඉවත්ව පූර්ණකාලීනව දේශපාලනයට එක් විය. 2009 වසරේදී බස්නාහිර පළාත්සභා මන්ත‍්‍රීවරයකු ලෙස පත්වූ ඔහු 2014 වසරේදී දෙවන වරටත් පළාත් සභාවට පත් විය.2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පරිසර අමාත්‍ය ලෙස වෛද්‍ය ධම්මික පටබැඳිගේ දිවුරුම් දුන්නේය. කෑගල්ල අඹන්පිටිය ග්‍රාමයේ උපන් ‌වෛද්‍ය හෙට්ටිතන්ත්‍රි පටබැඳිගේ ධම්මික පටබැඳිගේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්ව වෛද්‍ය උපාධිය ලබා ඇති  හෙතෙම - කෙටි කාලයක් වෛද්‍ය වෘත්තියේ නියැලී, පසුව වෛද්‍ය වෘත්තියට සමුදී පූර්ණ කාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිස තිබේ.

ජාතික ජනබලවේගයේ විධායක සභිකයකු ලෙසත්, කෑගල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසත් කටයුතු කළ ධම්මික පටබැඳිගේ පසුගිය මහමැතිවරණයේ දී කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 186,409 ක් ලබාගෙන මනාප ලැයිස්තුවේ පළමු තැන හිමිකරගෙන තිබුණි.

විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත අබේසිංහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ක්‍රිස්තියානි අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය, බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හිමිකරගෙන ඇති ක්‍රිෂාන්ත අබේසේන ජාතික ජනබලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය. විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු ලෙසද හෙතෙම කටයුතු කර ඇත.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ද, කැබිනට් ප්‍රකාශක ලෙසද, වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්ව තිබේ. නියෝජ්‍ය කතානායක ලෙස වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි පත් වී තිබේ.

නවක මන්ත්‍රීන් ලෙස තේරී පත්වී ඇති විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ද බොහෝමයකි. 

  • මහාචාර්ය අනිල් ජයරත්න
  • කථිකාචාර්ය දිනේෂ් හේමන්ත පෙරේරා
  • මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම
  • කථිකාචාර්ය විජේසිරි බස්නායක
  • ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර
  • ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පී. ඩී. එන්. කේ. පලිහේන.
  • කථිකාචාර්ය නන්දන මිල්ලගල
  • කථිකාචාර්ය කාංචන වැලිපිටිය

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

කොල්ලු‍පිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අමරසූරිය  සමාජ විද්‍යා පිළිබඳ උපාධිය දිල්ලි විශ්වවිද්‍යාලයෙන්ද, මානව විද්‍යා හා සංවර්ධන අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මැකවරි විශ්වවිද්‍යාලයෙන් ද, සමාජ මානව විද්‍යා අන්තර්ජාතික සෞඛ්‍ය හා සංවර්ධන අධ්‍යයන සම්බන්ධ ආචාර්ය උපාධිය එඩිම්බරෝ හි  විශ්වවිද්‍යාලයෙන්ද ලබාගෙන ඇත. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කර ඇති ඇය 2020 වර්ෂයේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක ලෙස පත් වූවාය.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක  

කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වූ අතර, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයෙක් ද විය. 

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා ලෙස කටයුතු කළේය.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළේය.  ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජිකයෙක් ද විය.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

වසර විසි පහක විශ්වවිද්‍යාලයීය සේවයක් ඇති හිනිදුම සුනිල් සෙනෙවි  සබරගමු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ සේවය කළ මහාචාර්යවරයෙකි.  දේශීය සහ විදේශීය පර්‌යේෂණ රැසක් නියෝජනය කර ඇති ඔහු පර්‌යේෂණ පත‍්‍රිකා රැසක් ද පළ කර ඇත. ග්‍රන්ථ සහ ලිපි කතුවරයෙකි. සාහිත්‍ය විචාරකයෙකි. දේශකයෙකි. තිරනාටක රචකයෙකි. සම්මාන උලෙළ ජූරි සභිකයෙකි. 

නවක මන්ත්‍රී ලෙස තේරී පත්ව ඇති ගණකාධිකාරීවරුන් මෙසේය.

කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු 

වරලත් ගණකාධිකාරිවරයෙක් මෙන්ම සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරිවරයෙකි. තවද ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකි. ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික සහ ආර්ථික කවුන්සිලයේ සාමාජික ධුර දරයි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ 

කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වරලත් ගණකාධිකාරී, සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරිවරයකු වන අතර ව්‍යාපාර පිළිබඳ උපාධිධාරියෙකි. ජාතික ජන බලවේගය ජාතික විධායක සභික කමිටු සාමාජිකයකු වන අනිල් ජයන්ත  එහි ආර්ථීක කවුන්සලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කරයි. ජාතික ජලසම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකි. ආර්ථික කවුන්සිල සාමාජිකයකු වන අතර, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපතිවරයාය.

නවක මන්ත්‍රී ලෙස තේරී පත්ව ඇති ඉංජිනේරුවන් මෙසේය.

  • අක්රම් ඉල්යාස්
  • කෝසල ජයවීර
  • රවීන්ද්‍ර බන්ඩාර
  • තනුර දිසානායක

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධරයකු වන ඉංජිනේරුවකු මෙන්ම ව්‍යාපෘති කළමනාකරුවෙකි. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයෙකි.

නවක මන්ත්‍රීන් ලෙස තේරී පත්ව ඇති නීතීඥයන් මෙසේය.

  • සුනිල් වටගල
  • කෞෂ්‍යලා ආරියරත්න
  • සුසන්ත දොඩවත්ත
  • ගීතා හේරත්
  • හිරුණි විජේසිංහ
  • ජන්ත් චිත්‍රාල්
  • ජීවන්ත භාග්‍ය හේරත්
  • උපුල් අබේවික්‍රම
  • නිලන්ති කොට්ටහච්චි
  • තුෂාරී ජයසිංහ
  • චමින්ද්‍රානී කිරිඇල්ල
  • අනුෂ්ක තිලකරත්න
  • හසාරා ලියනගේ
  • ප්‍රියන්ත විජේරත්න
  • සරත් කුමාර
  • නිලූෂා ගමගේ
  • සාගරිකා අතාවුද

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර

1997 වසරේ එංගලන්තයේ ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයෙන් නීති ගෞරව උපාධිය ලබාගෙන ඇත. 1998 වසරේ දී එංගලන්තයේ  බැරිස්ටර්වරයකු ලෙස තනතුර ලබා තිබේ. 1994 වසරේ දී ශ්‍රී ලංකාවේ නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දී නීතිඥ වෘත්තියේ නියැළෙයි. 2000 - 2004 කාලය තුළ ඔහු රජයේ අධිනීතිඥවරයෙක් ලෙස ද කටයුතු කර ඇත.


නවක මන්ත්‍රීන් ලෙස තේරී පත්ව ඇති ගුරුවරු මෙසේය.

  • මුනීර් මුලෆ්ෆර්
  • රුවන් මාපලගම
  • හේමාලී වීරසේකර
  • සුජීව දිසානායක
  • චන්දන තෙන්නකෝන්
  • සුනිල් රත්නසිරි
  • පද්මසිරි බණ්ඩාර
  • සංජීව රණසිංහ
  • දීප්ත වාසලගේ
  • මංජුල සුරවීරආරච්චි
  • තිලංක යූ ගමගේ
  • අරවින්ද සෙනරත් විතාන
  • රජීවන් ජෙයචන්ද්‍රමූර්තී
  • ආරුගුගම් ජෙගදීෂ්වරම්
  • මංජුල රත්නායක
  • රොෂාන් අක්මීමන
  • චතුරි ගංගානී
  • රුවන් විජේවීර
  • එස්. ප්‍රදීප්
  • උපුල් කිත්සිරි
  • නන්දන බණ්ඩාර
  • ටී. කේ. ජයසුන්දර

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්

මාතර දිස්ත්‍රික්කයෙන් දෙවැනි ස්ථානයට වැඩිම මනාප සංඛ්‍යාව වන 148,379 ක් හිමි කරගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වූ සරෝජා පෝල්රාජ්  මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ගුරුවරියකි. ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකාවක වන ඇය ’අයිතීන් උදෙසා කාන්තාවෝ’ සංවිධානයේ සභාපතිනිය ලෙසත්, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ ජාතික කමිටු සාමාජිකාවක ලෙසත් කටයුතු කරන්නීය. කැලණිය විශ්වවිද්‍යාලයේ පරිවර්තන හා අර්ථනිරූපණ ඩිප්ලෝමාධාරිනියක වූ සරෝජා , රුහුණ විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාරිනියක ලෙස ද සේවය කරන්නීය.

එම වෘත්තීයන්ට අමතරව මිනින්දෝරු රුවන්තිලක ජයකොඩි, භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි, බැංකු නිලධාරී තිළිණි සමරකෝන් සහ ව්‍යවසායකයන් ආදී විවිධ වූ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන වෘත්තිකයන් මෙවර මැතිසබය නියෝජනය කරනු ලබයි. එමෙන්ම බහුතර මන්ත්‍රීන් උපාධිධාරීන් වීම ද විශේෂත්වයකි.

මෑතකාලීනව පාර්ලිමේන්තුව පිළිබඳව මහජනයා තුළ පැවතියේ දුර්වර්ණ චිත්‍රයකි. මෙවර පාර්ලිමේන්තු සභිකයන් එම චිත්‍රය වර්ණවත් එකක් කිරීමට සමත්වේ යැයි බොහෝ දෙනා විශ්වාස කරති. එනම් වංචාවෙන්, දූෂණයෙන් තොර පෞද්ගලික ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවන, තම බඩගෝස්තරය සරිකරවා ගැනීම පමණක් අරමුණු කරගත් ජනතා නියෝජිතයන් නොවී, රටේ සංවර්ධනයට දායක වන මහජන නියෝජිතයන් වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.


ශෂිකා අබේරත්න