මඩකළපුවේ රනිල්ගේ රැලියට ආ ඉංග්‍රීසි සර්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුවේ දී පැවැත්වූ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකට ඔහුගේ පාසල් සමයේ ගුරුවරයෙකු එක් විය. 93 හැවිරිදි ඒ ගුරුවරයා ගැන බොහෝ දෙනා කතා කරන්නට වූයේ එයින් පසුවය. මඩකළපුවේ පෙරියකල් ආරු නිවසේ  සුවසේ ජීවත්වන විශ්වලිංගම් නම් ඒ ගුරුවරයා ඉරිදා ලංකාදීපයට හමුවිය.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය  වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ එකම පුත්‍ර රත්නය වූ අනුර බණ්ඩාරනායක, මලික් සමරවික්‍රම ඇතුළු මැති ඇමැතිවරුන් ගණනාවක්ම රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන වකවානුවේ ඉංග්‍රීසි 
ගුරුවරයා ලෙස කටයුතු කළේ තමන් බව හෙතෙම පවසයි.


ඔහු මෙලොව ජන්මලාභය ලබා ඇත්තේ 1932 වසරේ අගෝස්තු මස 31 වැනිදාය. යාපනය වඩුක්කොඩෙයි මධ්‍ය මහා විද්‍යාලයේ සහ මඩකළපුව මහා විද්‍යාලයේ දීප්තිමත්  ආදි සිසුවකු වූ විශ්වලිංගම් ශිවලිංගම්, මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු වී ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කර විශිෂ්ට දක්ෂතා පෙන්වමින් එයින් පිටවූයේ ආධුනික ගුරුවරයකු වශයෙනි. ගුරු වෘත්තියට ආධුනිකයකු වුවත් ඔහු ඉංග්‍රීසි භාෂාවට නම් කිසිසේත් ආධුනිකයෙකු නොවීය.
ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට, ලිවීමට විශිෂ්ට හැකියාවක් තිබූ ශිවලිංගම් මුල් පත්වීම ලබා පැමිණියේ කොළඹ කොටහේන මධ්‍ය විද්‍යාලයටය. එම විද්‍යාලයේ වසර ගණනාවක් ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කරමින් සුවහසක් සිසු සිසුවියන්ගේ නැණැස පෑදූ විශ්වලිංගම් ඉන් පසු පැමිණියේ රාජකීය විද්‍යාලයට ය. එතැන් පටන් වසර හැට සම්පූර්ණවී විශ්‍රාම යන තෙක්ම ඔහු සේවය කළේ රාජකීය විද්‍යාලයේය.


විශ්වලිංගම් නාමය රාජකීය විද්‍යාල ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.
විශ්වලිංගම් මහතා පැවසුයේ තමාගෙන් ඉගෙනගත් සිසුන් රටපුරා සිටිය ද තමා විශ්‍රාම ගිය දවසේ සිට මේ දක්වා ඔහුට හිමි විශ්‍රාම වැටුප ලැබී නොමැති බවයි.
තමාගේ ගුරු වෘත්තියේ ලිපිගොනුව අස්ථානගතවීම නිසා විශ්‍රාම වැටුප මෙතෙක් සාදාගැනීමට නොහැකි වූ බව ශිවලිංගම් ගුරුතුමා සඳහන් කරයි. මෙම විශ්‍රාමික ගුරුවරයා අපට මුණගස්වනු ලැබුවේ නැගෙනහිර පළාත්  භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ විසිනි. ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින විශ්වලිංගම් ශිවලිංගම් මහතා ඉරිදා ලංකාදීපය සමග කෙටි පිළිසඳරකට එක්වෙමින් මෙසේ   පැවසීය.
‘‘මගේ ඇස් තවම හොඳට පෙනෙනවා. කණ්ණාඩියක් නැතුව පොත්, පත්තර තවමත් කියනවා. කන් දෙකත් හොඳට ඇසෙනවා. මට රෝගාබාධ කිසිවක්  නැහැ. යම් යම් සිද්ධීන් වූ දින වකවානු ගැන කියන්න තමයි දැන් මට මතක නැත්තේ. මගේ වැඩ මට තනියම කරගන්න තවමත් හැකියාව තිබෙනවා. නොවරදවාම කෝවිල් යනවා. මගේ නෝනා  මීට මාස දහයකට විතර කලින් මියගියා. හින්දු චාරිත්‍ර වාරිත්‍රවලට අනුව බිරිඳ මියගිය නිසා අවුරුද්දක් යනකල් කෝවිල්වලට යන්නේ නැහැ.
මම උදේ නැගිටලා ඉංග්‍රීසි සහ දමිළ පුවත්පත් ටික කියවනවා. රෑට රූපවාහිනී නාලිකාවල විකාශනය වන ප්‍රවෘත්ති බලලා නිදාගන්න යනවා.
මගේ ගෝලයකු වූ රනිල් වික්‍රමසිංහ පළමුවැනි වතාවට අගමැති වුණු වෙලාවේ ලොකු සතුටක් දැනුණා. ඔහු අගමැති වී මීට අවුරුදු  ගණනාවකට කලින් මාව බලන්න අපේ  මඩකළපුවේ ගෙදරට ආවා. දින වකවානුව තමා මට මතක නැත්තේ. ඔහු මගේ සුවදුක් විමසා ගියා. 
මගේ ගෝලයන් රට පුරා විවිධ නිලතල දැරුවත් මම ඒ කාගෙන්වත් උදව් උපකාර ඉල්ලුවේ නැහැ. එහෙම පුරුද්දක් මට තිබුණෙත් නැහැ. ගුරුවරයකු වශයෙන් මම ඒ අයට ඉගැන්නුවා. ඒ වෙනුවෙන් මට පඩියක් ලැබුණා. හැබැයි මම හැම වෙලාවෙම ගන්නා පඩියට වැඩියත් වැඩ කළා. රාජකීය විද්‍යාලයේ මාත් එක්ක හිටපු සමකාලීන ගුරුවර ගුරුවරියන් කවුරුත් පුදුම කැපවීමකින්  දරුවන්ට  ඉගැන්නුවා. කොළඹ රාජකීය විද්‍යාලය අදටත් රටේ හොඳ නමක් තිබෙන  රටම බබළවන උගතුන් විද්වතුන් සහ බුද්ධිමතුන් සිය ගණනක් බිහිකළ පාසලක්. ඒ විතරක් නොවේ රාජකීය විද්‍යාලයෙන් ඉගෙන ගත් බොහෝ දෙනකු ආරක්ෂක අංශවල ඉහළ නිලතලවලට පත්වුණා. එවැනි විද්‍යාලයක ඉගැන්වීමට ලැබීම ගැනත් මා අදටත් සතුටුවෙනවා.
විශ්වලිංගම් ශිවලිංගම්ගේ පියා මිනින්දෝරු වෘත්තියේ නිරතව සිට ඇති අතර, මව ගෘහණියකි. විශ්වලිංගම් දරු තිදෙනෙකුගේ දයාබර පියෙකි.
එක් පුතකු සවුදි අරාබියේ ආයතනයක ගණකාධිකාරිවරයකු ලෙස සේවය කරන අතර අනෙක් පුත්‍රයා ඕස්ට්‍රේලියාවේ රැකියාවක නිරතව සිටී. විශ්වලිංගම් දැන් ජීවත්වෙන්නේ සිය එකම දියණිය වන ශිවලිංගම් අනුරාධාගේ නිවෙසේය.
විශ්වලිංගම් අනුරාධා සිය පියාණන් ගැන කතා කරන්නේ ආඩම්බරයෙනි.


තාත්තා මටයි, මගේ සහෝදරයන් දෙන්නටයි පුදුම ළෙන්ගතුකමක් තිබුණේ. තාත්තා කොළඹ ඉස්කෝලවල ඉගැන්නුවේ බම්බලපිටියේ නැවතිලා ඉඳලා. මගේ සහෝදරයන් දෙදෙනා ඉගෙන ගත්තෙත් කොළඹ රාජකීය විද්‍යාලයේ. තාත්තා අපට අවශ්‍ය පොත්පත්  සපයා දෙමින් නිතරම ඉගෙනගන්න උනන්දු කළා. අපේ සෑම ඕනෑ එපාකමක්ම සොයා බැලුවා.
තාත්තාගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත් බොහෝ දෙනකු රටේ ලොකු ලොකු තැන්වල උසස් තනතුරු දරනවා. එයා ජාති ආගම් භේද කිසිවක් සැලකුවේ නැති කෙනෙක්. තාත්තා කවමදාවත් ඒ අයගෙන් උදව් උපකාර ඉල්ලාගෙන ගියේ නැහැ. එයා බොහොම ගෞරවාන්විත විදිහට ගුරු වෘත්තියේ නිරතවෙලා ඉඳලා විශ්‍රාම ගත්තා’’ යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය