ප්‍රාදේශීය සභා - පළාත් සභා - මහමැතිවරණ – ජනාධිපතිවරණ මෙන්ම, ජනමත විචාරණ ඡන්දයන්හිදී පවා වේදිකා දෙවනත් කරමින්, ගිරිය පුප්පාගෙන දෙන බෙරිහන්වලට අමතරව, ඇත්ත නැත්ත කෝක වෙතත්, උනුන්ට ඇඟිල්ල දික් කෙරෙන ජාතික ප්‍රශ්න පිළිබඳ දෙපැත්තේ සිට පෙන්වන ගිවිසුම් යනාදිය ඡන්දදායකයාට ඇතිකරවන්නේ, තීන්දු තීරණයක් ගැනීමට බාධා කෙරෙන මහා පටලැවිල්යන්ය.
විශේෂයෙන්ම මේ සඳහා උපයෝගී කරගනු ලබන්නේ, ජාතික ආගමික හා ආන්දෝලනාත්මක සමාජමය ප්රශ්නයන්ය.
ඡන්ද ගුණ්ඩු හැටියට මෙවැන්නක් ඉදිරිපත් කරන පාර්ශ්වය ඡන්ද දායකයා නොමග යැවීමට ගනු ලබන උත්සාහය සාර්ථක වීමෙන්, අපේක්ෂිත අරමුණු අත්පත් කර නොගත්තා ද නොවේ.
නිදසුනක් වශයෙන් 2005 දී පැවති ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, එල්.ටී.ටී.ඊ.ය සමග රහස් ගිවිසුමක් ඇතිකරගෙන ඇතැයි පොදුජන පෙරමුණේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ සිය ඡන්ද සටනේ දී කළ ප්‍රචාරය ප්‍රබල කිරීමට නැතහොත් අසත්‍ය බව ඔප්පු කිරීමට වූ නොහැකියාව මත, මහින්දගේ වචනය පිළිගත් ඡන්දදායකයන්ගේ බහුතරය නිසා රනිල් වික්‍රමසිංහගේ පරාජයට බෙහෙවින් බලපා තිබුණි.
එසේම, එම ‘ගේමය’ 2010 ජනාධිපතිවරණයේ දී ද මහින්ද රාජපක්ෂ වෙනත් මුහුණුවරකින් ගෙන එමින්, ඡන්දදායකයාට කියා සිටියේ, පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා, ද්‍රවිඩ ජාතික සන්ධානය සමග රට බෙදීමේ කුමන්ත්‍රණ ගිවිසුමක් අත්සන් කර ඇති බවය. එහි තවදුරටත් විස්තර වන්නේ, එම ගිවිසුම වඩාත් බලාත්මක කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ජනතා විමුක්ති පෙරමුණේ (එවකට) නායක සෝමවංශ අමරසිංහ හා එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාද අත්සන් යොදා ඇති බවත්ය.
2010 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම තම ප්‍රතිවාදියා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බවට සිතාගත් මහින්ද රාජපක්ෂ ඒ සඳහා සියලු සැලසුම් ක්‍රියාත්මක කළේත්, දන්නා හැම තුරුම්පුවක්ම මිට මොළවා ගත්තේ, සුදුසු වේලාවේදී රනිල්ට පහරදීමටය.
එහෙත් ඔහුගේ හැම හිතලුවක්ම පුස්සක් බවට පත් කරවමින්, එල්ටීටීඊය සමූහ ඝාතනය කිරීමේ යුද උපක්‍රමයක් සකස් කරමින්, සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කරවූත්, එම ජයග්රහණයෙන් පසු මහින්ද හා ගෝඨාභය දෙබෑයන් විසින්, ආසියාවේ හොඳම යුද හමුදාපති වශයෙන් හැඳින්වූත්, ජෙනරල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේදී මහින්දගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වීම නිසා, රනිල් ඉලක්ක කොට කරනු ලැබූ විසඳුම් සැලසුම් හා මිටමොලවාගත් තුරුම්පු පසෙකට ලා, ෆොන්සේකා වෙනුවෙන් අලුතෙන් සැලසුම් සකස් කළ අතර, අදාළ ගිවිසුම එළියට ආවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
හතළිස් වසරක හමුදා සේවා කාලය තුළදී තුන් වතාවක් එල්ටීටීඊ ඉලක්කයක් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා, අවසාන තැතේ දී මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ මාරක ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලබා, බඩවැල් දෝතින් ගෙන නැගිට සිටියේ, තමා ජීවත්ව සිටියොත් ඉදිරියේදී නොබෝ දිනකින් එල්ටීටීය සමූල ඝාතනය කරවීමේ දැඩි අධිෂ්ඨානයෙනි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුදැනුම ඇතුව ඔහු එම කාර්යය නොබෝ දිනකින් අකුරටම සිදු කළේය. මහින්දගේත් ගෝඨාභයගේත් ඉමහත් පැසසුමට එදා ඔහු ලක්වූයේ එහෙයිනි.
එහෙත් මහින්ද තමාට විරුද්ධව ෆොන්සේකා ඉදිරිපත් වෙතැයි, සිහිනෙන්ද නොසිතුවේය. 2005 සුපුරුදු ගිවිසුම 2010 ට නව මුහුණුවරකින් මහින්ද රටට හෙළි කළේ, තම බලය – නිලය තවත් කාලයකට නොසොල්වා තබා ගැනීමේ බලවත් චේතනාවකිනි.
පාර්ලිමේන්තුවේ බොහෝ දේශපාලන පක්ෂ මෙන්ම, විවිධ සමාජ සංවිධාන ෆොන්සේකාට සහාය පළ කරද්දී, ද්‍රවිඩ ජාතික සන්ධානයත් ඔහුට සහාය පළ කිරීමට ඉදිරිපත්වීම ගැන බෙහෙවින් උරණවූ මහින්ද පාර්ශ්වය, අදාළ ගිවිසුම් සැලසුම් කර ඇති බවත්, එය හුදෙක්ම හොර ගිවිසුමක් බවත්, මහින්ද විරෝධී වේදිකාවල මෙන්ම, විවිධ මාදිළියේ මාධ්‍යවලින්ද ප්‍රචාරය කෙරිණ.
මහින්දගේ ක්‍රියා කලාපයන් අනුමත නොකළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය යළිත් ළං කරගෙන, තම පිළට ඇයගේ සහයෝගය නොඅඩුව ලැබෙන බව පෙන්වීමට ඇය සමග පෙනී සිටින ඡායාරූප ද සකස් කර, නිකුත් කිරීමට මහින්ද ගත් තැතද, ඇයගේ නොකැමැත්ත නිසා ව්‍යර්ථ විය.
අන්තිමේදී මහානායක හිමිවරුන්ගෙන් අදාළ ‘‘හොර ගිවිසුමේ’’ අන්තරාය පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට ද ඔහු ගත් උත්සාහය ලත් තැනම ලොප් වීම නිසා, ඔහුට කිසිවක් කරගත නොහැකි විය.
මෙම ගිවිසුම් පිටපතේ ඇදහිය නොහැකි විශේෂ ලක්ෂණය වන්නේ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, තම අත්සන සිංහලෙන් කර තිබීමය.
තත්ත්වය එසේ වුවද මෙහි මුලින් සඳහන් කර ඇති පරිදි ගිවිසුම් පිළිබඳව ඡන්දදායකයාගේ අවබෝධය අල්පවීම නිසාත්, එල්ටීටීඊය පරාජය කිරීමේ සම්පූර්ණ කාර්ය භාරය තමන් වෙත රඳවා ගැනීමත්, එහි වාසිය මුළුමනින්ම තමන් සතු කර ගැනීමත් නිසා එම ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ඉතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් දෙවන වරටත් රටේ ජනාධිපති පදවියට පත්වූයේ, යුද ජයග්‍රහණයේ වීර පදක්කම ජනතාවට මනාව ප්‍රදර්ශනය කරවීමෙනි.
- එල්.ඩබ්ලිව්. පුෂ්පකුමාර