තමන් මුහුණ දෙන දේශපාලන අලකලංචි ඇතුළු කාලීන දේශපාලන ප්‍රශ්න පිළිබඳ කතාබහට මෙවර “මුහුණට-මුහුණ” හමුවන්නේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ගීතා කුමාරසිංහයි.
● බටහිර රටක පුරවැසි බව හිමිවීම අපේ වගේ රටක කෙනෙකුට ආඩම්බරයට හේතුවක් වුණත් ගීතා කුමාරසිංහට අද ඒක මාර ලෙඩක් වෙලා නේද?
මුලින්ම කියන්න ඕනෑ මේ පිළිබඳව නඩුව තවමත් විභාග වෙනවා. ලබන සතියේ ඒ නඩුවෙ තීන්දුව ලැබෙන්න නියමිතයි. ඒක නිසා මේ ගැන මට කතා කරන්න පුළුවන් එක සීමාවක ඉඳගෙන විතරයි. මම මේක ප්‍රශ්නයක් කියලා දැනගත්තු මොහොතෙම මගේ පුරවැසිභාවය අයින් කරගන්න ක්‍රියා කළා. මම එම්බසි එකට කතා කරලා මේ ප්රශ්නය කියලා මම ඒක අයින් කරගත්තා. ඒක නිසා මේ නඩුවෙන් මට සාධාරණයක් ඉටුවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ ප්රශ්නය නිසා ස්විට්සර්ලන්තේ කෝටි ගාණක දේපොළක් මට නැති වුණා. මම පුරවැසිභාවය අයින් කරගත්තු නිසා ස්විට්සර්ලන්තෙ තිබුණු සියලු අයිතිවාසිකම් අහිමි වුණා. මම පළමු වතාවට මීඩියා එකකට විවෘතව කියන්නේ. මේ ප්රශ්නය නිසා මගේ විවාහය දෙදරුම් කෑවා. මගේ සැමියා මේ ප්රශ්නය නිසා සෑහෙන්න උරණවෙලා මට දොස් කිව්වා. අපි විවාහ වෙලා අවුරුදු තිස්හතක් විතර වෙනවා. ඒ තිස්හත් අවුරුද්දක විවාහයේ බැම්ම කඩාගත්තා මේ ප්රශ්නය නිසා. මෙච්චර කල් මම මේ ප්රශ්නය හිතේ හංගගෙන හිටියේ. මේ ප්රශ්නය නිසා මට මානසිකවත් සෑහෙන්න පීඩනයක් ඇතිවුණා. මේ සියල්ල මම දරාගත්තා. මම මගේ පුරවැසිභාවය අයින්කරගත්තු බවට තියෙන ලියවිල්ල ඔබට පෙන්වන්න පුළුවන්. මේ ප්රශ්නය අවුස්සන කෙනෙක් ඉන්නවා. ඒ පුද්ගලය තමයි මේක පිටිපස්සෙ ඉන්නේ. මාව පාර්ලිමේන්තුවෙන් එළියට ඇදලා දාන්න මේ අයට ඕනකම තියෙන්නේ.
● මහින්ද සමරසිංහ ඇමැතිවරයටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔබ සඳහන් කරලා තිබුණා.
මේ වගේ වෙනත් රටවල පුරවැසිභාවය තියෙන තවත් අය ඉන්නවා. ඒ සමහරු ඡන්දෙ පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ. ඒත් ඒ අය එළියට ඇදලා දාන්න කවුරුවත් උත්සාහ කරන්නේ නෑ. මොකද ජාතික ලැයිස්තුවෙන් ආපු නිසා එයා අයින් කරලා ඊට යටින් ඉන්න කෙනාට පාර්ලිමේන්තු යන්න බෑනේ. මාව එළියට ඇදලා දැම්මොත් මට වඩා සෑහෙන්න ඡන්ද අඩුවෙන් ගත්තු පැරදිච්ච කෙනෙකුට පාර්ලිමේන්තු එන්න පුළුවන්. ඒකටයි මේ වැඬේ කරන්නේ. මම ගාල්ලට පැරෂුට් එකෙන් ඇවිත් නෙවෙයි දේශපාලනය කරන්නේ මම. අවුරුදු ගාණක් ගාල්ලටම කඹුරලා ඉන්නේ. මම බෙන්තර ඇල්පිටියට එනකොට එතැන හරි සංවිධායකයෙක් නැතුව අනාථ වෙලා තිබුණේ. මමයි බෙන්තර ඇල්පිටිය මේ තත්ත්වෙට ගෙනාවෙ. මට කොච්චර කෙනහිලිකම් ආවද. ඒත් මම මේක අතඇරියේ නෑ. සංවිධායකකමෙන් අයින් කළා කියලා ගීතා කුමාරසිංහ වට්ටන්න පුළුවන් වුණාද? මම එහෙම වැටෙන ගෑනියෙක් නෙවෙයි. මට කවුරුවත් කිසිම දෙයක් බන්දේසියෙ තියාල දුන්නෙ නෑ. මම අමාරුවෙන් ආපු ගමනක් මේක. ඒක නිසා වැටෙන හැම වෙලාවෙම නැගිටින හැටි මම දන්නවා.
● ගීතාගේ සංවිධායකකම නැතිවුණේ අවුරුද්දකට විතර කලින්. ඊයෙ පෙරෙයිද ඒකාබද්ධ විපක්ෂෙ පුද්ගලයො කීප දෙනෙකුගේ ආසන සංවිධායකම් ගහලා ගියා. මොකක්ද වෙන්නේ ඒකාබද්ධ විපක්ෂෙට?
මුලින්ම ආසන සංවිධායකකම අයින් කළේ අපේ ගමන නවත්තන්න මේ වගේ වැඩවලින් නම් බෑ. ජනක බණ්ඩාර තෙන්නකෝන්ල කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ශක්තියක් වුණු අය. අද මේ වගේ ප්‍රබලයින්ටත් කැපිල්ල පටන් අරන්. මෙහෙම ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. ලොහාන් රත්වත්තලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලේ නෑකම් තියෙන අය. මේ වගේ දක්ෂයො අයින් කරලා කාත් එක්කද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉස්සරහට යන්න හදන්නේ. අපිට නම් තේරෙන්නෙ නෑ. පක්ෂයට දරදිය ඇදපු මිනිස්සු කපලා එදාවේල සංවිධායකයො දාගෙන පක්ෂයක් ගොඩගන්න බෑ.
අපි සංවිධායකකම් වලින් අයින් කළාට අපි තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ. මොකද අපි පාරම්පරික ශ්‍රී ලංකාකාරයො. අපි මේ පක්ෂෙන් අයින් වෙන්නෙත් නෑ. අයින් කරන්නත් බෑ.
● ආසන සංවිධායකමවත් නැතුව කොහොමද ගාල්ලෙ දේශපාලනය කරන්නේ?
දේශපාලනය කරන්න ආසන සංවිධායකකමක් ඕනමයි කියලා එකක් නෑ. සංවිධායකම තියෙන දවස්වලට වඩා ගාල්ලෙ ජනතාව දැන් මට සමීපවෙලා. ගාල්ලෙ ජනතාව මගේ ආසන සංවිධායකම නැතිවීම ගැන දුක් වෙනවා. විශේෂයෙන් බෙන්තර ඇල්පිටියෙ ජනතාව. ඒ මිනිස්සු තමයි දන්නෙ මම කරපු වැඩකොටස. අවුරුදු ගාණක් මන්ත්‍රී කෙනෙක් නැතුව වේළි වේළි තිබුණු බෙන්තර ඇල්පිටියට මම ඇවිත් තමයි වැඩක් කළේ.
● ගීතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් දිගටම කැපිල්ල ඇයි?
මට පක්ෂෙන් කැපිල්ලක් නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා මට වැඩ කරන්න ඉඩ දුන්නා. එතුමා දැනගත්තා ගෑනියෙක් වෙලත් මම සටන් කරලා ගාල්ලෙ මිනිස්සුන්ට වැඩ කරලා පක්ෂෙට ශක්තියක් වෙනවා කියලා. ගාල්ලෙ ඉන්න දේශපාලකයො කීප දෙනෙකුට නම් මම වැඩ කරද්දී ජනප්‍රිය වෙද්දී රිදුණා. හැබැයි ඡන්දෙදි මිනිස්සු ඒ අයට නියම උත්තරේ දුන්නා. ඒ අයට පාර්ලිමේන්තුවටවත් එන්න බැරි වුණා. මට ප්‍රාදේශීය සභාවෙ පළාත් සභාවේ අයත් නොයෙක් හිරිහැර කළා. කවුරුත් බැලුවෙ මාව නවත්තන්න. ඒත් මාව නවත්තන්න කාටවත් බැරි වුණා.
● ඒකාබද්ධ විපක්ෂෙ ඉන්න විමල් වීරවංශ වගේ අයගෙ පාස්පේාට් ප්‍රශ්න, සිරගත වීමේ ප්‍රශ්න වගේ දේවල්වලදී අගමැතිතුමා හරහා සහන ගත්තු කතා අහන්න ලැබුණා. ඔබේ මේ ප්‍රශ්න ගැන අගමැතිතුමා එක්ක කතා කරලා බේරුමක් කරගන්න බැලුවෙ නැද්ද?
මම කවුරුවත් ළඟ දණින් වැටිලා සහන ඉල්ලන කෙනෙක් නෙවෙයි. අනික මේක අධිකරණ කටයුත්තක්. ඒ ගැන අගමැතිතුමාට කියලා වැඩක් නෑ. මගේ නඩුවලදී මට වාසිගන්න කවුරුවත් ලව්වා අධිකරණයට බලපෑම් කරවන්න මට බෑ. ඒක කොහොමද කරන්නේ. එහෙම කවුරුහරි කරගත්තද කියලා මම දන්නේ නෑ.
● විමල් වීරවංශ වෙනුවෙන් ජනාධිපති අගමැති හමුවෙලා කරුණු කියන්න ඒකාබද්ධ විපක්ෂෙ නායකයො ඉදිරිපත් වුණා. ගීත කුමාරසිංහට ඒ සපෝට් එක නැද්ද?
මගේ ප්‍රශ්න ගැන ඒ අය කතා කළා. විශේෂයෙන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ඩලස් අලහප්පෙරුම මැතිතුමා මේ ප්‍රශ්නෙදි මං වෙනුවෙන් කතා කළා. ඒත් අධිකරණයේ තියෙන නඩුවක් වෙනුවෙන් ඒ අයට මැදිහත් වෙන්න බෑනේ. මගේ මේ නඩුවට මේ රජය බලපෑම් කරයිද කියලත් මට සැකයක් තියෙනවා. ඒ අයට ඕනකමක් තියෙනවා මේ නඩුවෙන් මාව පරාජය කරවන්න. ඒ ගැන මම පස්සේ විස්තර කියනවා. ඒත් මම තාමත් විශ්වාස කරනවා අධිකරණයෙන් මට සාධාරණ තීන්දුවක් ලැබෙයි කියලා.
● පසුගිය කාලෙ ආරංචි වුණු විදියට ආණ්ඩුවට එකතුවෙලා ඇමැතිකමක් හරි නියෝජ්‍ය ඇමතිකමක් හරි ගත්තා නම් මේ මොකුත් නෑනේ.
ගොඩක් අය හිතුවෙ මම එහෙම කරයි කියලා. මට එහෙම යෝජනා කීපයක්ම ආවා. මම ඒකට සූදානම් නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රසිද්ධියේම මට ආරාධනා කළා ඒ පැත්තෙ වාඩිවෙන්න කියලා.
● මේ දවස්වල කතාවක් යනවා ඔබට නියෝජ්‍ය ඇමැතිකමක් ලැබෙන්න යනවා කියලා.
සැරින් සැරේ ඔහොම කතා පැතිරෙනවා. මට නියෝජ්‍ය ඇමැතිකම නෙවෙයි ජනාධිපතිකම දුන්නත් මම යන්නේ නෑ.
● ඔහොම කිය කියා ඒකාබද්ධ විපක්ෂෙ ඉඳපු ගාල්ලෙම කෙනෙක් පැදුරටත් නොකියා මෛත්‍රිපාල සිරිසේන ළඟට ගිහින් නියෝජ්‍ය ඇමැතිකමක් ගත්තා. දේශපාලනයේදී ඔය වගේ කතා කියන කවුරුවත් විශ්වාස කරන්න බෑනේ.
එහෙම කරපු අය හිටියා. ඒත් මේ ගීතා කුමාරසිංහ එහෙම නෑ. ඒ ගැන මම ඔයාට ලේ වලින් අත්සන් කරලා සහතිකයක් දෙන්නම් ඕන නම්.
● කොහොමද මැයි දිනේට තියෙන සූදානම එහෙම. ගොල්ෆේස් එකට කී දෙනෙක් එක්කද බහින්නේ?
ඉතිහාසයේ වැඩිම සෙනඟ අපි ගෝල්ෆේස් පිටියට එකතු කරනවා. ගෝල්ෆේස් පිට්ටනියේ අපි මැයි රැලිය තියෙනවා කිව්වම ගොඩක් අය අපිට හිනාවෙන්න බැලුවා.
● ඒකාබද්ධ විපක්ෂය කරපු පා ගමනට කෝටි දෙකක් ආවා කිව්වා වගේ කතාවක්ද ඔය ඉතිහාසයේ වැඩිම සෙනඟ. ගෝල්ෆේස් ගේනවා කියන එකත්?
ඔය කතාව අල්ලගෙන මට කොච්චර හිනා වුණාද. කාට හරි පොඞ්ඩ වැරදෙනකම් හිනාවෙන්න බලාගෙන ඉන්න අයනේ අද වැඩිපුර ඉන්නේ. අපිට හිනාවුණු කාටත් ගෝල්ෆේස් මැයි රැලියෙන් පස්සේ අඬන්න වෙයි. අපිටත් වඩා මිනිස්සු ගෝල්ෆේස් මැයි රැලියට එන්න බලාගෙන ඉන්නේ. අපිට අමුතුවෙන් මේකට මහන්සි වෙන්න දෙයක් නෑ. ආණ්ඩුව එපා වෙච්ච ජනතාව සියලු දෙනා ගෝල්ෆේස් එකට ඒවි මැයි පළමුවෙනිදාට.
මහින්ද රාජපක්ෂ කියපු විදියට වෙසක් පෝය දෙකකින් මේ ආණ්ඩුව ගෙදර යවලා බලය ගත්තම ඔබලටත් හොඳ කලක් යයිනේ.
එතුමා කිව්වට වෙසක් පෝය දෙකක් කියලා මම නම් කියන්නේ ඊටත් කලින් මේ ආණ්ඩුවට ගෙදර යන්න වෙයි වගේ. මේ කරන වැඩත් එක්ක. අද රටේ හැම දේම විකුණාගෙන යනවා. මේ ආණ්ඩුව තව තිබුණොත් අපිට මොකක්වත් ඉතුරුවෙන එකක් නෑ. අද එක්සත් ජාතික පක්ෂයේ අයටම ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ. ඒ අය ටිකෙන් ටික අපිත් එක්ක එකතු වෙනවා.
● ඔය කතාව ඒකාබද්ධ විපක්ෂෙ අය නුගේගොඩ රැස්වීමෙ ඉඳලා කියන කතාවක්නේ. ඒත් ආපු කෙනෙක් නම් අපි දැක්කෙ නෑ.
බලන්නකො හෙට අනිද්දා මොකද වෙන්නෙ කියලා. අපේ පැත්තෙ ඉඳලා ගිහින් ඇමැතිකම් ගත්තු අයත් ආපහු අපිත් එක්ක එකතුවෙන්න සූදානමින් ඉන්නේ.
● රංජිත් සොයිසා මන්ත්රීතුමත් කියලා තිබුණා ඇමැතිවරු පස් දෙනෙක් ඇතුළු පිරිසක් ඒකාබද්ධ විපක්ෂෙට එකතු වෙනවා කිලා. සමහරු මේවට කියන්නේ “සිත නිවන කතා” කියලා.
රංජිත් සොයිසා මන්ත්‍රීතුමාටත් ගණන් වැරදිලා. ඇමැතිවරු පස් දෙනෙක් නෙවෙයි ඊට වඩා එන්නයි ඉන්නේ.
● ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ මහලේකම්වරයා මේ සැරෙත් කියන්නේ ගැටඹෙට එන්නෙ නැති අයට විනය පියවර ගන්නවා කියලා.
එයාලට තව මොනවද අපිට කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ. තව කෙරුවත් ඔච්චර තමයි. ගිය මැයි දිනේට ගියේ නෑ කියලා මගේ සංවිධායකම අයින් කළා. තව මොනවා කරත් මං වගේ අයට නම් රිද්දන්න ටිකක් අමාරුයි.
● දේශපාලන ජනප්‍රියතාවය අඩුවේගෙන යනවා කියලා හිතිලද ගීතා කුමාරසිංහ ආපහු ටී.වී. ප්රෝගෑම්වල නටන්න පටන් ගත්තේ?
අනේ නෑ. එහෙම දෙයක් නිසා නෙවෙයි. මේකට සම්බන්ධ වුණේ. මම මගේ ජීවිතේ තීරණාත්මක තීන්දු ගත්තේ එකපාරට. මම සිනමා නිළියක් විදියට “පීක්” එකේම ඉන්නකොට තමයි මම අම්මා කෙනෙක් වෙන්න ඕනා කියලා චිත්‍රපටි වැඩ නැවැත්තුවෙ. දේශපාලනයට ආවට පස්සෙත් කිසිම කලා කටයුත්තකට අතගැහුවෙ නැතුව හිටියා කාලයක්. ඒත් මේ රියැලිටි ඩාන්සින් ප්‍රෝග්‍රෑම් එකට යන්න ඕනෑ කියලා මම තීන්දු කළා. මම ඒකෙන් ඇත්තටම අසීමිත සතුටක් අද විඳිනවා. අපි ඒකට ගොඩක් මහන්සි වෙනවා. අපි ඒ තරගයේ අවසානයට කිට්ටු වෙනවා. කලා ක්ෂේත්රයේ සහෝදර සහෝදරියො එක්ක ආපහු වැඩ කරන්න ලැබීම හරිම විනෝදයි. දේශපාලන කුහකකම් වලින් කැපිලි කෙටිලිවලින් හෙම්බත් වෙලා ඉඳපු මට මේක හොඳ විවේකයක්. මේ වැඩෙන් මට වුණු ලොකුම වාසිය තමයි මගේ ඇඟ බස්සගන්න පුළුවන් වුණු එක. නැත්නම් මම අල ගෝනිය වගේනෙ හිටියේ.
ප්‍රියන්ත කොඩිප්පිලි