රජ පුටුවට ආ සභානායකවරු



මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී සභානායක ධුරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 

එම සුවිශේෂී තනතුර දරා පසුව මේ රටේ ඉහළම තනතුර වන ජනාධිපති ධුරය හා අගමැති ධුර දක්වා පැමිණි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් අතළොස්ස ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයකි. 1978 දී මෙරට විධායක ජනාධිපති ධුරය ඇති කිරීමට පෙර සර් ඩී.බී. ජයතිලක, මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, සර් ජෝන් කොතලාවල යන රටේ නායකත්වයට පත් වූ දේශපාලන නායකයන් ගැන අදත් ජනතාව මහත් ගෞරවාදරයෙන් යුතුව කතා කරයි. රටේ නායකත්වයට පත්වීමට පෙර ඔවුන් පාර්ලිමේන්තුවේ සභානායකවරු වශයෙන් කටයුතු කළහ. එම නායකයන් හැරුණුකොට වැඩිම කතාබහට ලක්වන අප දන්නා මෑත දේශපාලන ඉතිහාසයේ නොමැකෙන බොහෝ දෑ රටට ඉතිරි කළ සභානායක ධුරය දරා පසුව රජ පුටුවට ආ දේශපාලනඥයන් වන්නේ ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ය. රත්නසිරි වික්‍රමනායක හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ද පාර්ලිමේන්තුවේ සභානායක ධුර දරා ඇති අතර ඔවුන්ට අගමැති ධුරය දක්වා පැමිණීමට හැකි වී ඇත. රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා ගණනාවක දී මෙරට අගමැතිවරයා වශයෙන් කටයුතු කර ඇති පළපුරුදු දේශපාලනඥයෙකි. වර්තමානයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක ධුරය දරන්නේ මහනුවර දිස්ත්‍රික්කය දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.

1931 සිට 1947 දක්වා පැවැති පළමු හා දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායකවරුන් ලෙස කටයුතු කර ඇත්තේ මෙරට කීර්තිමත් දේශපාලනඥයන් දෙදෙනකු වශයෙන් ජනතා ගෞරවයට පත් සර් ඩී.බී. ජයතිලක හා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක යන මහත්වරුන්ය. 1947 සිට 1952 දක්වා පැවැති මෙරට පළමු පාර්ලිමේන්තුවේ සභානායක ධුරය දැරීමේ ගෞරවය හිමිවන්නේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක හා සර් ජෝන් කොතලාවල යන කෘතහස්ත දේශපාලනඥයන් දෙපළටය.

1952 සිට 1956 දක්වා පැවැති දෙවැනි පාර්ලිමේන්තුවේ සභානායක ධුර දරා ඇත්තේ සර් ජෝන් කොතලාවල හා ජේ.ආර්. ජයවර්ධන යන රටේ ඉහළම නමක් තැබූ දේශපාලනඥයන් දෙපළයි. මෙරට තුන්වැනි පාර්ලිමේන්තුවේ සභානායකවරයා වූයේ ප්‍රවීණ දේශපාලනඥයකු වූ සී.පී.  ද සිල්වා මහතාය.

1960 වර්ෂයේ දී ඉතා කෙටි කාලයකට පත් වූ මෙරට හතරවැනි පාර්ලිමේන්තුවේ සභානායකවරයා වූයේ පසුව රටේ දේශපාලන පෙරළි රැසක් සිදු කළ පළමු විධායක ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන මහතාය. 1960 සිට 1964 දක්වා වූ මෙරට පස්වැනි පාර්ලිමේන්තුවේ සභානායකවරයා වශයෙන් පත්වූයේ සී.පී. ද සිල්වා මහතාය. අනතුරුව 1965 සිට 1970 දක්වා පත්වන සමගි පෙරමුණ රජයේ සභානායකවරයා වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාව හිමිවූයේ ද සී.පී. ද සිල්වා මහතාටය. මෙරට පාර්ලිමේන්තුවේ වැඩිම වාර ගණනක් සභානායක ධුරය දැරීමේ ගෞරවය හිමිවන්නේ ද සී.පී. ද සිල්වා මහතාටය.

මෙරට පළමු ජාතික රාජ්‍ය සභාව වශයෙන් හැඳින් වූ හත්වැනි පාර්ලිමේන්තුවේ සභානායකවරයා වූයේ මෛත්‍රීපාල සේනානායක මහතාය. දෙවැනි ජාතික රාජ්‍ය සභාව වශයෙන් හැඳින් වූ 1977 සිට 1988 දක්වා පැවැති පළමු පාර්ලිමේන්තුවේ සභා නායකවරයා වූයේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. ඒ මහතා ද මේ රටේ දේශපාලනයේ කීර්තිමත් නාමයක් දිනා ගැනීමට සමත් වූ දේශපාලනඥයෙකි.

1989 සිට 1994 දක්වා පැවැති දෙවැනි පාර්ලිමේන්තුවේ සභානායක ධුර දැරුවේ රනිල් වික්‍රමසිංහ මහතා හා විජේපාල මෙන්ඩිස් යන මහත්වරුන්ය. 1994 සිට 2000 දක්වා එම තනතුරු හිමිවූයේ පසුව අගමැති ධුරය හිමි වූ රත්නසිරි වික්‍රමනායක මහතාටය. 2000 සිට 2001 වර්ෂය දක්වා මෙරට හතරවැනි පාර්ලිමේන්තුවේ සභානායක ධුරය දරා ඇත්තේ රිචඩ් පතිරණ මහතාය. 2001 – 2004 කාලය තුළ පස්වැනි පාර්ලිමේන්තුවේ සභානායක ලෙස කටයුතු කළේ වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාය.

2004 – 2010 කාලය තුළ හයවැනි පාර්ලිමේන්තුවේ සභානායක ධුර දැරුවේ ජනාධිපති ධුරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතා හා නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන්ය. 2010 – 2015 කාලයේ සභානායක වන්නේ ද නිමල් සිරිපාල ද සිල්වා මහතාය. 2015 ජනවාරි 20 වැනි දින සිට මෙරට හත්වැනි පාර්ලිමේන්තුවේ සභානායක ධුරය හෙබ වූ අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 2015 සැප්තැම්බර් 01 දින සිට අටවැනි පාර්ලිමේන්තුවේ සභානායක ධුරය දැරුවේය.

ඉන් පසුව පැවැති පාර්ලිමේන්තුවේ සභානායක ධුරය වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉසිලූ අතර වර්තමාන පාර්ලිමේන්තුවේ සභානායක ධුරය අධිනීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත මහතා උසුලයි.

  • සරත් සමරනායක