
ගම්පහ රැලියේ ජනපතිගේ පොරොන්දුව
ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත ගැන ආණ්ඩුවෙන් මෙන්ම විපක්ෂයෙන් ද ඉකුත් කාලයේ විවිධ කතා කියැවිණි. සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙමින් විපක්ෂය කීවේ ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත ක්‍රමානුකූලව අඩුවෙමින් පවතින බවයි. එහෙත් ආණ්ඩුව කියන්නේ එම මතය සත්‍යයක් දැයි යළිත් සිතීමට පොලඹවන අවස්ථාවක් ජාතික ජන බලවේගයේ ගම්පහ ජන රැලියෙන් පෙන්නුම් කරන බවය.
“ආණ්ඩුවට වසර දෙකයි... රටට සුබයි” තේමාවෙන් ඉකුත් 27 වැනිදා ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැලිය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ බලවත් සංතෝෂයට හේතු විය.
“අවුරුදු දෙකකට පස්සෙත් මේ තරම් ජනතා ප්‍රසාදයක් ආණ්ඩුවට ලැබෙනවා කියන එක නම් විපක්ෂයට හිතාගන්නත් බැරිවයි ඉන්නේ. ඒත් ජනතාවගේ පැත්තෙන් නම් කියන්නේ මේ ආණ්ඩුව කිසිසේත්ම පරාජය කරන්න දෙන්නේ නෑ කියලයි..” රැලියට සහභාගි වූ නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ, ඇමැති අනුර කරුණාතිලක සමග කියා සිටියේය.
එහිදී කාගේත් අවධානයට ලක්වුණේ ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ඉන්ධන සහනාධාරය ගැනය. රුපියල් කෝටි 4,100ක මුදලක් ඉන්ධන සහනාධාරය වෙනුවෙන් වැය කිරීමට ආණ්ඩුව තීරණය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
“ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම නිසා වැඩිවන තෙල් මිලට ගැළපෙන ආකාරයට රට තුළ තෙල් මිල වැඩි කරන්න වෙනවා. ඒත් ජනතාවට වැඩිවන බර සම්පූර්ණයෙන්ම පටවන්න ආණ්ඩුවේ අදහසක් නෑ. ඒකෙන් කොටසක් දරාගන්න ආණ්ඩුව සූදානම්..” ජනාධිපතිවරයා කියා සිටියේය.
කෙසේ වෙතත්, ඉකුත් 1 වැනිදා සිට ඉන්ධන මිල යළිත් වැඩි කෙරිණි. ජනාධිපතිවරයා ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බව කීවද රජය පවසන්නේ ඩීසල් සඳහා රුපියල් 80කින් මිල වැඩිවිය යුතු වුවත්, රජය රුපියල් 70ක සහනාධාරයක් ලබා දී ඇති නිසා සුදු ඩීසල් මිල වැඩි වූයේ රුපියල් දහයකින් පමණක් බවය.
ජාතික ජන බලවේගය ඉදිරියේදී තවත් රැලි කිහිපයක් සංවිධානය කරමින් සිටී. ඔක්තෝබර් 11 වැනිදා කුරුණෑගල ගොකරැල්ලේ දී සහ නිකවැරටියේ දී එම රැලි පැවැත්වේ. ඔක්තෝබර් 18 වැනිදා බදුල්ලේදී කාන්තා රැලියක් ද, 24 වැනිදා යාපනයේදී තවත් රැලියක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට අමතරව තරුණ රැලියක්, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව සහ වෘත්තීය සමිති සමුළුවක් ද ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
බස් රියැදුරන් ජනපතිට කී කතාව
මෙරටට අලුතෙන් ගෙන ආ මෙට්‍රෝ බස් 112ක් පොදු මගී ප්‍රවාහනය සඳහා ධාවනයට එකතු කළේ ඉකුත් සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය. කඩවත, මාකුඹුර, පානදුර, කහතුඩුව, ඒකල හා කොල්ලුපිටියේදී මේ බස් සේවය ආරම්භ විය.
ජනාධිපතිවරයා සහභාගි වූයේ තලංගම මෙට්‍රෝ නැවතුමේ පැවැති උත්සවයටය. එහිදී ජනාධිපතිවරයා බස් රථ රියැදුරන් සහ රිය සහායකවරුන් සමග ද කතාබහක නියැළුණේය.
“මොකද කියන්නේ වැඩේ හොඳට කරන්න පුළුවන් නේද?” ජනාධිපතිවරයා මෙට්‍රෝ රථ රියැදුරකුගෙන් විමසීය.
“ඔව් ජනාධිපතිතුමනි, අපි මේ වැඩේ හොඳටම කරනවා. අපිට මේ වගේ තැනක වැඩ කරන එක ලොකු ආස්වාදයක්..” රියැදුරෙක් ප්‍රකාශ කළේය.
“සර්, මම ප්‍රයිවට් කම්පැනියක බර වාහන රියැදුරෙක් හැටියටයි හිටියේ... ඒත් මේ වැඩේ ගොඩදාන්න සම්බන්ධ වෙන්න ඕනෑ කියල හිතුණ නිසා ඒ රස්සාව අතෑරලා ආවේ...” තවත් රියැදුරෙක් කතාවට එකතු විය.
“ජනාධිපතිතුමනි, අපි මේ අයට හොඳ පුහුණුවක් දීලයි තියෙන්නේ. ස්වයං විනයක් පවත්වාගන්න... හැමදෙනාටම එක වගේ ආචාරශීලී වෙන්න... හොඳින් කතා කරන්න... මේ හැමදේම අපි ඒ පුහුණුවේදි කතා කළා. අපි විශ්වාස කරනවා එයාල මේ කටයුත්ත හොඳින් කරයි කියල..” ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක ද එම කතාවට සම්බන්ධ වෙමින් කීවේය.
මූල්‍ය අරමුදල ගැන ආණ්ඩුවේ මතය
ලබන වසරේ මාර්තු මාසයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග පවතින ණය වැඩසටහන අවසන් වන නිසා, මින් ඉදිරියට සිදුවන දේ ගැන බොහෝ දෙනා සිටින්නේ අවධානයෙනි. මේ ගැන ආණ්ඩුව ද නිල ප්‍රකාශයක් කර නැත්තේ ඒ සඳහා තවත් මාස හයක පමණ කාලයක් තිබෙන නිසාය.
මාලිමාවේ ක්‍රියාකාරී කණ්ඩායමක් මුණගැසුණු අවස්ථාවේ මුදල් නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මෙවැනි පැහැදිලි කිරීමක් කළේය.
“අපි රට බාරගන්නකොට බංකොලොත් ආර්ථිකයක්නෙ තිබුණෙ. ඒ වෙලාවේ අපිට ආර්ථිකය ස්ථාවර කරගන්න තුන්වැනි පාර්ශ්වයක උදව් උවමනා වුණා. අයි.එම්.එෆ්. එක ඒ වෙද්දි මැදිහත් වෙලා හිටියෙ. අපි ආණ්ඩුව ගත්තට පස්සෙ නැවත ඔවුන් සමග සාකච්ඡා කරලා අපිට ගැළපෙන සහ රටට වාසිදායක ගිවිසුමකට ආවා. දැන් රට ස්ථාවරයි. ඒකට ජනතාවත් ආණ්ඩුවට උදව් කළා. දැන් අපි බංකොලොත්භාවයෙන් මිදිලා ඉන්නේ. ඒ වගේම අපිට මින් ඉදිරියටත් ආර්ථික වර්ධනයක් ළඟා කරගන්න ඕනෑ. විදෙස් සංචිත එකතු කරනවා වගේම විදේශ ආයෝජනත් ළං කරගන්න ඕනෑ... ඔය නිසා අපි ඉදිරියේදී තවත් සාකච්ඡා කරලා සුදුසු තීන්දුවක් ගන්නවා..” අනිල් ජයන්ත නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.
සජිත්ගේ කාර්ය මණ්ඩලයට සාදයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් සතියේ ග්‍රෑන්ඩ් මොනෑෂ් හෝටලයේදී තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සමග පෞද්ගලික සුහද හමුවකට සහභාගි විය. රාත්‍රී ආහාරය ද සමග පැවැති මෙම හමුවට සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද සහභාගි විය.
“මා ළඟ දීර්ඝ කාලයක් තිස්සේ වැඩ කරන ඔයාලත් එක්ක මේ වගේ හමුවක් පවත්වන්න මම තීන්දු කළේ ඔයාලගේ සේවය අගය කරන්න. ඔය හැමෝම කැපවී සේවය කරනවා. තව තවත් දියුණු තාක්ෂණය උපයෝගී කරගෙන අපේ පක්ෂයේ වැඩ කටයුතු රට හමුවට ගෙන යාමට උනන්දු වෙමු...” විපක්ෂ නායක සජිත් මෙහිදී පැවසීය.
“හැම වෙලාවෙම මාධ්‍ය සමග තමන්ගේ සම්බන්ධතා හරියට තියාගන්න... නව තාක්ෂණය පාවිච්චි කරන්න.. පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කතා ගැන, පක්ෂය ගැන ධනාත්මක පණිවිඩ නිතරම බෙදා හරින්න...” විපක්ෂ නායක සජිත් තවදුරටත් උපදෙස් දුන්නේය.
සජබ කොළඹ සංවිධායක හමුව සහ සමාජ මාධ්‍ය උපදෙස්
සජබයේ කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්ගේ සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ සුහද හමුවක් ද ඉකුත් සඳුදා ග්‍රෑන්ඩ් මොනෑෂ් හෝටලයේදීම පැවැත්වුණි. 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ 24 වැනි සිකුරාදා පාර්ලිමේන්තු වටරවුමේ පැවැති විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ගැනීමට උරදුන් පිරිසට ස්තුති කිරීමට මෙම හමුව කැඳවා තිබිණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග තිස්ස අත්තනායක, එස්.එම්. මරික්කාර් සහ හර්ෂ ද සිල්වා ද ඊට එක්වූහ.
විපක්ෂ නායකවරයා පැමිණ සිටි සැමදෙනාම වාඩිවී සිටි ස්ථානවලට ගොස් ඔවුන්ට ස්තුති කර ඡායාරූපවලට ද පෙනී සිටියේය.
“ඔයාලගෙ දායකත්වය එදා උද්ඝෝෂණයට ඉතා වැදගත් වුණා.. ඔබ සියලු දෙනාම සමාජ මාධ්‍යවල ඉන්නවා. මම යෝජනාවක් කරන්න කැමතියි එම සමාජ මාධ්‍ය ගිණුම්වලිනුත් අපේ පක්ෂයේ වැඩ කටයුතු ප්‍රවර්ධනය කරන්න කියලා. අපි ටිකක් මහන්සි වෙලා වැඩ කරමු... යම් කෙනෙක් සමාජ මාධ්‍ය පෝස්ට් එකක් බලලා ඒකෙන් ඉවත්ව යනවා නම් වැඩක් නෑ.. ඒ පිරිස පක්ෂයට නැඹුරු කරගන්න විදිහට ඔයාලගේ සමාජ මාධ්‍ය ගිණුම් ක්‍රියාත්මක කරන්න,” විපක්ෂ නායකවරයා කීවේය.
විපක්ෂ නායකවරයා එහිදී රජය ඉදිරිපත් කර ඇති මෙවසරට අදාළ සමාජ ආර්ථික දත්ත පිළිබඳව ද පැහැදිලි කිරීමක් කළේය.
“මේ වාර්තාවේ සමහර තැන්වල තියෙනවා ඉකුත් වසරේ ඉඳල 2021 වසර දක්වා දත්ත... ඒත් සමහර තැන්වල තියෙන්නේ 2016 සිට 2019 වසර දක්වා දත්ත.. මේකෙන් පේන්නේ වත්මන් රජයට ඉදිරිපත් කරන්න නිවැරදි දත්ත නොමැති බවයි. වසර දහයකට කලින්, ඒ කියන්නේ දෙදහස් දහය වසරේ ආර්ථික දත්තවලින් තමයි ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණ කරල තියෙන්නෙ. එතකොට අදට ගැළපෙන නිවැරදි දත්ත එළියට එන්නෙ නෑ...” සජිත් එහිදී කියා සිටියේය.
නාමල් බලන්න සගයෝ සිරගෙදරට
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයට පත් කළ පසු පාර්ලිමේන්තුව පැවැත්වූ දිනවල බන්ධනාගාර බස් රියෙන් පාර්ලිමේන්තුවට පැමිණියත්, ඉකුත් සතියේ පාර්ලිමේන්තුව නොපැවැති නිසා ඔහු සිටියේ රිමාන්ඩ් බන්ධනාගාරයේය. ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩී.වී. චානක, සාගර කාරියවසම්, ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් හැකි සෑම විටම නාමල් බැලීමට බන්ධනාගාරයට යාමට අමතක නොකළහ.
ඔවුන් එහිදී කතාබහ කළේ පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳවය. “මේ සතියේ අපි ආසන සංවිධායකවරුන් නෙළුම් මාවතට ගෙන්වන්න යන්නේ” ජොන්ස්ටන් පවසා ඇති අතර නාමල් එය අනුමත කළ බව ජොන්ස්ටන් තම සගයන් හමුවේ පැවසීය. නැවත කොට්ඨාස රැස්වීම් ආරම්භ කරන ලෙසත් මීළඟ රැලිය සඳහා සූදානම් වන ලෙසත් නාමල් පැවසූ බව ඔහු වැඩිදුරටත් කීවේය.
“ඒක තමයි... අපේ ආසන සංවිධායකවරුන් බොහෝම උනන්දුවෙන් වැඩ කටයුතු කරගෙන යනවා. නාමල් මන්ත්‍රීතුමාට ශක්තියක් වෙමු කියලයි ඔවුන් කියන්නේ...” ඩී.වී. චානක මන්ත්‍රීවරයා කීවේය.
අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ දිවයිනේ සියලු ආසන සංවිධායකවරුන්ගේ සහභාගිත්වයෙනි. නාමල් රාජපක්ෂ උපදෙස් දුන් පරිදි කොට්ඨාස රැස්වීම් නැවත පැවැත්වීමට එහිදී තීන්දු විය.
“දැන් කවදද අපේ අනෙක් මහා රැලිය පවත්වන්නේ?” ඉන්දික අනුරුද්ධ විමසීය.
“ඒක මාතර තියන්න ඉන්නේ” ජොන්ස්ටන් කීවේය.
“අපිට උදව් කරන අනෙක් පක්ෂත් මේකට හවුල් කරගන්න ඕනෑ...” ඩී.වී. චානක කී අතර එහි සිටි සියලු දෙනාම එම අදහස අනුමත කළහ.
නාමල්ට ඇප ලැබුණත් යළි බන්ධනාගාරයට
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධ නඩු කටයුත්ත වෙනුවෙන් නාමල් රාජපක්ෂට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණීමට නියමිතව තිබුණේ ඉකුත් අඟහරුවාදාය. ඔහු උසාවියට රැගෙන එන විට පස්වරු 1.00 පමණ විය. එදිනම හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ද කොටුව උසාවියට පැමිණ සිටියේය.
“හා.. නාමල් කොහොම ද?” නාමල් දුටු රනිල් විමසුවේය.
“හොඳයි සර්... හොඳින් ඉන්නවා” නාමල් පැවසීය. එහෙත් ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් කතා කිරීමට අවකාශ ලැබුණේ නැත.
එදින නාමල් රාජපක්ෂට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබුණි. එහිදී ඔහුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ද දැනුම් දිණි. ඇප ලැබුණත් තවත් නඩු දෙකකින් රිමාන්ඩ් භාරයට පත් කර ඇති නිසා නාමල්ට නැවත බන්ධනාගාරයට යාමට සිදුවිය.
අධිකරණය අසලදී රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය
රනිල් නඩුවට පෙනී සිට නැවත අධිකරණයෙන් පිටතට එන අවස්ථාවේ සිදුවූ සිද්ධියක් මාධ්‍ය කලඹන්නට හේතු විය. ඒ, එක්තරා විද්‍යුත් මාධ්‍ය නාළිකාවක කැමරා ශිල්පියකු විසින් රනිල්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටි ආරක්ෂක නිලධාරියකුගේ හිසට කැමරාවෙන් පහර දීමයි. පහරදීම සිදුවූ ස්ථානයේ සිට රනිල් සිටි තැනට තිබුණේ අඩි තුන හතරක පරතරයක් පමණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන කීවේ, රනිල් අධිකරණයට එන විට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා නොතිබූ බවට මෙය හොඳම සාක්ෂියක් බවයි. එදින රනිල්ගේ නඩුව කල්යාම සහ නාමල්ට ඇප ලැබීම ආදී සිදුවීම් නිසා අදාළ මාධ්‍ය ආයතනය කිපී සිටියාදැයි සැකයක් මතුවන බව ද ඔහු පසුදින පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
”වසර 76ක් පුරා චෝදනාව තිබුණේ දේශපාලකයන්, පොලිසිය සහ හමුදාව මාධ්‍යයට පහර දෙන බවටයි. ඉතිහාසයේ පළමු වරට මාධ්‍යවේදීන් පොලිසියට පහරදීමට පටන්ගෙන ඇත. මේ ප්‍රහාරයේ ඉලක්කය පොලිසිය ද රනිල් ද කියා පැහැදිලි සැකයක් තිබෙනවා,” යනුවෙන් ද වජිර සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 'Rata Next' සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් සිය දැඩි කනස්සල්ල පළ කළේය. මාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිදහස පිළිගන්නා අතරම, අනෙකුත් පුද්ගලයන්ගේ ශාරීරික ආරක්ෂාවට සහ වෘත්තීය ගෞරවයට ද ගරු කළ යුතු බවත්, රාජකාරි කරමින් සිටි ආරක්ෂක නිලධාරියකුට ශාරීරික බලපෑමක් එල්ල කිරීම සදාචාරාත්මක මාධ්‍ය භාවිතයකට අනුකූල නොවන බවත් එම නිවේදනයේ දක්වා තිබිණි.
උසාවියේ සිදුවීම ආරංචි වූ විගසම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දුරකථන ඇමතුමක් ලබා දුන්නේය.
”උසාවියේදී සිද්ධියක් ඇතිවුණා නේද?” යැයි සජිත් විමසා සිටියේය. ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් රනිල් කරුණු විස්තර කළ අතර, සජිත්ගේ පිළිතුර වූයේ ”පහරදෙන ඔක්කොම කැමරාවල තියෙනවානේ,” කියාය.
විපක්ෂයේ අර්බුදය සහ 22 සංශෝධනයට එරෙහි උද්ඝෝෂණය
මේ අතර විපක්ෂයේ සියලු පක්ෂවල ප්‍රධාන මාතෘකාව බවට පත්වී ඇත්තේ සජිත්ගේ නායකත්වය යටතේ ඉදිරි වැඩ කටයුතු කරන්නේ කෙසේද යන්නයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පොල්දූව මංසන්ධියේ (පාර්ලිමේන්තු වටරවුමේ) සංවිධානය කර තිබූ උද්ඝෝෂණයේදී සජිත් ඇතුළු සුළුතර කණ්ඩායමක් විසින් අනෙක් පක්ෂවලට එපා වාහෙට හොදි බෙදන්නා වාගේ‘ සලකා තිබිණි. ඊට හේතු වූයේ මෙම උද්ඝෝෂණයට ආරාධනා කරන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවට එස්.එම්. මරික්කාර් කළ ප්‍රකාශයයි. මේ කතා නිසා පොදුජන පෙරමුණ ඇතුළු සෙසු පක්ෂ සියල්ල එම උද්ඝෝෂණයට යෑමෙන් වැළකී සිටියහ.
”මරික්කාර් එහෙම කතාවක් කිව්වා කමක් නෑ කියමුකෝ. ඒත් නායකයාගේ වගකීම තමයි ඒක නිවැරදි කරන එක. සජිත්ගේ නිහඬ පිළිවෙත නිසා විපක්ෂයේ පක්ෂ හිතන්නේ ඒ කතාවට නායකයාගේ විරුද්ධත්වයක් නැති බවයි,” යනුවෙන් විපක්ෂයේ බොහෝ පක්ෂ නායකයින් රනිල්ට තම ස්ථාවරය ප්‍රකාශ කර තිබිණි.
රනිල්ගෙන් ආණ්ඩුවට සහ අයවැයට ප්‍රශ්න
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී කණ්ඩායම හමුවේ මෙසේ ප්‍රශ්න කළේය.
”ලබන නොවැම්බර් 12 බජට් එක ඉදිරිපත් කරනවා. දැන් වෙනකොට අයි.එම්.එෆ් (IMF) එකත් එක්ක යනවාද නැද්ද කියන කාරණය ගැන ආණ්ඩුව තීරණය කරලා තියෙන්න ඕනේ. ඒ ගැන තීරණය නොකර බජට් එක හදන්නේ කොහොම ද? අන්තිම මොහොතේ තීරණයක් අරගෙන බැහැනේ. ඒකෙ වගකීම තියෙන්නෙ ජනාධිපතිට. එයා මේක ප්‍රකාශ කරන්න ඕනනේ. ඩීසල් මිල පාලනය කරන්න බිලියන 40ක් යොදවලා තියෙනවා. අයි.එම්.එෆ් එක ඒකට එකඟ වෙනව ද? ඒක අයි.එම්.එෆ් ප්‍රතිපත්තිවලට පටහැනියි. හැම රටක්ම කරන්නේ තෙල් මිල වැඩි වුණොත් භාවිතය සීමා කරන එක. ගිවිසුම කඩලා එතෙන්ට යන්නේ කොහොම ද?”
විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ගොස් පලස්තීනය සම්බන්ධයෙන් කතා කිරීම ගැන අදහස කුමක්දැයි, රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්යක්්ෂ ශානුක කරුණාරත්න මෙහිදී රනිල්ගෙන් විමසා සිටියේය.
”ඔක්කොම බලාගෙන ඉන්නෙ පලස්තීනෙ ඡන්දෙ මොකක්ද වෙන්නේ කියලා. අනෙක් කණ්ඩායමට බහුතරයක් හම්බවුණොත් ඒක වඩා වාසි සහගත තත්ත්වයක් කියලයි බොහෝ අය හිතන්නේ. මූලික ප්රශ්නය තියෙන්නේ ඉරානය. අවුරුදු දෙකක් තුළ අපේ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද කියලා විදේශ ඇමති දැනගන්න ඕනනේ,” යැයි රනිල් ඊට පිළිතුරු දුන්නේය.
අනතුරුව රනිල් අතීතය සිහිපත් කළේය. ”2024 ඡන්දෙට යනකොට ගොඩක් අය ඡන්දෙ දෙන එක ගැන තීරණය කරලා තිබුණේ නෑ. කවුරුත් බිමේ තත්ත්වය සංවිධානය කරලා තිබුණේ නෑ. අනුරත් ඒක දැනගෙන හිටියේ නෑනේ. මගෙන් ඇහුවා ඡන්දෙ තියෙනවද නැද්ද කියලා. ඊට පස්සේ මම දැනුම් දුන්නා ඡන්දෙ තියෙනවා කියලා.”
කෙසේ වුවද එදා රනිල් සහ අනුර අතර පණිවිඩ හුවමාරුවට මැදිහත්කරුවකු වී සිටියේ එවකට ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාව සිටි දිනිත් චින්තක කරුණාරත්නයි. ඔහු අනුරගේ සරසවි මිතුරෙකි.
මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ විවේචන සහ සමීක්ෂණය
මන්ත්‍රී කණ්ඩායම හමුවේ අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසූයේ 22 වැනි සංශෝධනය දිගු කලක් පවතින සංශෝධනයක් යැයි තමන් විශ්වාස නොකරන බවයි.
”අනාගත පාර්ලිමේන්තුවකට සම්පූර්ණ බලය තියෙනවා ඒක අහෝසි කරන්න. බලය තියෙනවා කියන එක නෙවෙයි, ඒක යුතුකමක් මෙන්ම වගකීමක්. වෙන කිසිම දවසක සිදු නොවෙච්ච විදිහට සමාජයේ මේකට පුදුම විදියේ විරෝධයක් තිබුණා. මීට විරුද්ධව පෙත්සම් 67ක් ඉදිරිපත් වුණා. මහා සංඝරත්නය, කතෝලික රදගුරු සම්මේලනය, ඇංග්ලිකන් සභාව, නීතිඥ සංගමය, වෘත්තීය සමිති 43ක්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු මෙන්ම සිවිල් සමාජය නියෝජනය කරන ආයතන රාශියක් මේකට දැඩි විරෝධය ප්‍රකාශ කළා. ඒ නිසා ඊළඟ පාර්ලිමේන්තුව මේක අවලංගු කළ යුතුයි,” ඔහු කීය.
ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තමන් සමීක්ෂණයක් කරගෙන යන බවද ඔහු පැවසීය. ආර්ථිකයේ ප්‍රගතියක් තිබේ ද නැතහොත් කඩාවැටීමක් ද යන්න පිළිබඳව කෘෂිකර්මය, මධ්‍යම පන්තිය මුහුණ දෙන ප්‍රශ්න, සෞඛ්‍ය, අධ්‍යාපනය, අපනයන හා ඉදිකිරීම් ක්ෂේත්රය ආදී වශයෙන් වෙන වෙනම මෙම සමීක්ෂණය සිදුකෙරෙන බවත්, විශේෂයෙන් බදු ප්‍රතිපත්තිය ගැන විමසිලිමත් වී ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජී.එල්. සඳහන් කළේය.
ජී.එල්.ගෙන් නීති පර්යේෂණ සඳහා අරමුදලක්
මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සත්කාරක වැඩසටහනක් ඉකුත් සතියේ කොළඹදී පැවැත්විණි.
”මගේ පොත්වලින් එන ඔක්කොම කර්තෘ භාග (royalty) මම භාරකාර අරමුදලකට (trust) බැර කළා. ඒ ඇරෙන්න මගේ පෞද්ගලික මුදල්වලින් ලක්ෂ 10ක් විතර මේ අරමුදලට යෙදෙව්වා. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ නීති පීඨය සහ නීති විද්‍යාලයේ නීති පර්යේෂණ කටයුතු සඳහායි,” යනුවෙන් ඔහු ඒ ගැන විස්තර කළේය.
මෙම අවස්ථාවට පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, නීති පීඨයේ පීඨාධිපතිවරයා, නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය අදහස් පළ කළහ. තමාගෙන් නීතිය ඉගෙන ගත් ජනාධිපති නීතිඥවරුන් දස දෙනකු පමණ මීට සහභාගී වූ බවත්, නීති පර්යේෂණ කටයුතු සඳහා ඔවුන්ගේ සහයෝගය බලාපොරොත්තු වන බවත් ජී.එල්. වැඩිදුරටත් පැවසීය.
යුරෝපා සංගම් මන්ත්‍රීන්ගේ සංචාරය
යුරෝපා සංගමය මගින් ලබාදෙන ජී.එස්.පී. (GSP) සහනය මෙරට අපනයන ක්ෂේත්රයට ශක්තිමත් ප්‍රදානයකි. ඉදිරි වසරේ එම සහනය දිගු කිරීම පිළිබඳ සමාලෝචන සාකච්ඡාවක් යුරෝපා සංගම් දූත පිරිසක් විසින් ඉකුත් දිනවල මෙරට දී පවත්වන ලදී.
එම දූත පිරිස විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, කාවින්ද ජයවර්ධන, හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසක් හමුවී ඒ පිළිබඳ සාකච්ඡා කළහ.
“මෙම සහනය ලංකාවට අත්‍යවශ්‍යයි. මේකෙන් අපේ කර්මාන්තකරුවන්ට ස්ථාවර ආදායමක් වගේම රටටත් ස්ථාවර මුදලක් ලැබෙනවා..” රවි කරුණානායක මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
ප්රජාතන්ත්රවාදය රැකගැනීම, ජනමාධ්‍යයට බාධා නොකිරීම සහ ඔන්ලයින් පනත වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජී.එස්.පී. සහනය දිගු කිරීමේදී එම කරුණු සලකා බලන බව යුරෝපා සංගම් දූත පිරිස කියා සිටියහ.
පොළොන්නරු ගොවීන්ට රාජිත කී රහස
දොස්තර රාජිත සේනාරත්න, සමන් රත්නප්‍රිය, නීතිඥ අනුරාධ නායක ඇතුළු කිහිප දෙනකු ඉකුත් සතියේ පොළොන්නරුවට ගියේ එම ප්‍රදේශයේ ගොවි නායකයන් හමුවී ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමටය. (මීට පෙර අනුරාධපුරයේදී ද මෙවැනිම ගොවි හමුවක් පැවැත්විණි.) ගොවි නායකයන් සියයකට වැඩි පිරිසක් පැමිණ සිටි එම හමුවේදී රාජිත අතීත මතකයක් දිගහැරියේය.
“ඒ විජේතුංග ජනාධිපතිතුමාගෙ කාලෙ... ගොවීන් වහ බීල දිවිනසාගන්නව කියල ප්‍රචාරයක් ගියා... නෙල්සන් ඇමැතිතුමා ප්‍රසිද්ධියෙම කිව්වා මේ පළාතෙ ගොවීන් විහිළුවටත් සියදිවි නසාගන්නවා කියලා... මේකෙන් ගොවීන් ඇවිළුණා. ජනාධිපති විජේතුංග කිව්වා රාජිත මේ ගැන ගිහින් බලන්න කියලා.. වික්‍රම වීරසූරියයි මමයි ආවා. අපි ඇවිත් ගොවීන්ගෙ ඉල්ලීම් ගැන සාධනීයව බලල විසඳුවා..”
“ආයෙ 2002 දි ඩඩ්ලිලට වී ගන්න දෙන්නෙ නැතුව ත්‍රිවිධ හමුදාව දාල වී මිලට ගත්තා. බලහත්කාරයෙන් වී අඩු මිලට ගන්න එදා රජය ඉඩ දුන්නෙ නෑ. එස්.බී.ලත් එක්ක ඩඩ්ලි ඇවිත් බැගෑපත් වුණා අපිටත් වී ගන්න ඉඩ දෙන්න කියලා... අපි ඉතාම තදින් ක්‍රියාත්මක වුණා... රජයක් වැඩ කරන්න ඕනෑ එහෙම.. එහෙම නැතුව වී ටික කුණුකොල්ලෙට ගන්න ඉඩ දීලා බලා ඉන්න රජයක් අවශ්‍ය නෑ...” දොස්තර රාජිත කීවේය.
පැමිණ සිටි ගොවි නායකයන් කියා සිටියේ ඒ බොහෝ දෙනා ඩී.එස්. සේනානායක මහතාගේ සමයේ ඉඩම් බෙදා දුන් අයගේ උරුමකරුවන් බවයි. “අපේ වී ටික ගන්නෙ කුණුකොල්ලෙට. අද සහතික මිලක් තිබුණට ඒ මිලට ගන්නෙ නෑ...” ගොවීහු කීහ. රාජිත කීවේ ඒ වෙනුවෙන් තම කණ්ඩායම දිගටම පෙනී සිටින බවයි.
රාජ දූත

