(විනීතා එම් ගමගේ)
වාහන ආනයනය හා ගෘහස්ථ විදුලි උපකරණ ආනයනය සීමා කිරීමෙන් රුපියල කඩා වැටීම වැළක්වීමට කිසිදු සහනයක් නොලැබෙන බව ඉකුත් වසරේ මහ බැංකු වාර්තාව බැලූ විට පෙනී යන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
එම වාර්තාවට අනුව 2017 වසරේ ඩොලර් බිලියන දහනමයක් වූ සමස්ත ආනයන වියදමින් වාහන සහ ගෘහස්ථ විදුලි උපකරණ සඳහා වැය කර ඇත්තේ සියයට 4.4 පමණක් බැවින් වාහන හා ගෘහස්ථ විදුලි උපකරණ ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කළත් ආනයන වියදම අඩු වෙන්නේ සියයට 4.4 ක් පමණක් බවත් මන්ත්‍රීවරයා කීය.
ශ්‍රී ලංකාව අත්‍යවශය භාණ්ඩ ආනයනය කරන රටක් බැවින් අත්‍යවශය භාණ්ඩ ආනයනය කිරීම සීමා කළ නොහැකි යැයි පෙන්වා දුන් මන්ත්‍රීවරයා රුපියල කඩා වැටෙන්නේ රටේ ආනයන වැඩි වුණු නිසා නොව ආයෝජකයින් රටේ ආයෝජන ඩොලර් බිලියන ගණනින් ආපසු රැගෙන යාමට නිසා බවත් සඳහන් කළේය.
මූල්‍ය වෙළඳ පොළ, ඍජු ආයෝජන මෙන්ම කොටස් වෙළඳ පොළේත් ආයෝජන පිළිබඳ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳී ඇති බව කී ගම්මන්පිල මහතා ආයෝජන අහිමි වීම මෙසේ රුපියල කඩා වැටෙන්නට හේතු වී ඇති බව ද පැවැසීය.
මෙයට ඇති එකම විසඳුම මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒම බවත් ඔහු ගේ යුගය රටේ ආර්ථිකය ස්ථාවර වී බැබළුණු යුගයක් බව ලෝකයම පුරාම ආර්ථික විශේෂඥයන් දන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
ඒ නිසා මේ අර්බුදයට ඇති එකම විසඳුම හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වැඩ බැරි අය ගෙදර යවා රට කළ හැකි අයට මේ රට බාර දීම යැයි ද ඔහු වැඩි දුරටත් පැවැසීය.
උදය ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිට කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ දී අද (01) පැවැති මාධ්‍ය හමුව අමතමිනි.
‘ආනයන සීමා කිරීම රුපියල කඩා වැටීම වැළක්වීමට සහනයක් නොවේ‘
Recommended Articles