(නාලක සංජීව දහනායක)
අලුතින් පත්වන ජනාධිපතිවරයාට බලයක් නැති බවට කතාවක් පැතිර ගියත්, ගෝඨාභය රාජපක්‍ෂ වැනි දක්‍ෂයකුට වැඩ කිරීමට එය එතරම් ගැටලුවක් නොවන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (4) පැවැසීය.
ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ඔහු රටට කළ සේවය දෙස බැලූවිට ජනාධිපතිධූරයට පත්වූවිට වැඩ කරන ආකාරය සියල්ලන්ටම බලාගත හැකි වනු ඇතැයිද ඔහු කීය.
විපක්‍ෂනායකවරයා මෙසේද පැවැසීය.
“මීළඟට පත්වන ජනාධිපතිවරයට බලයක් නැහැ කියල දැන් කතාවක් පැතිරෙනවා. ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කළ වැඩ කොටස දෙස බැලූවිට ඔහු ජනාධිපතිවුවහොත් රටට වැඩකරන ආකාරය බලාගන්න පුළුවන්.
දේශපාලනයේ නායකයෝ ඕනතරම් ඉන්නවා. අද අපිට අවශ්‍යවෙලා තියෙන්නේ මේ රටට වැඩ කරන්නයි. අපි මේ අපේක්‍ෂකයාගෙන බලාපොරොත්තුවෙන්නේ නිවරදි නායකත්වයක් යටතේ රට ඉදිරියට ගෙන යන්නයි. ඔහු වැඩකරල පෙන්නපු නායකයෙක් නිසා ජනාධිපතිතනතුරට පත්වෙලත් ඔහු වැඩ කරාවි කියලා අපි බළාපොරොත්තු වෙනවා. රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව මෙය බැවින් ඔබ මේ මැතිවරණයේදී එකතුවෙලා වැඩ කළ යුතුයි” විපක්‍ෂනායකවරයා කීය.
කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (4) පැවැති කුඩා තේවතු, රබර් වගාකරුවන්, කිරි ගොවීන් හා සුළු අපනයන භෝග ගොවි සංවිධාන නියෝජිත සමුළුවට එක්වෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සදහන් කළේය.