‘මොන වෙට්ටු දැම්මත් ආණ්ඩුවක් පිහිටුවනවා‘


(*** කිරිඳිවැල උපාලි රණවීර, ***ගම්පහ තිලකරත්න දිසානායක)

එක්සත් ජාතික පක්ෂය හා එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිව යෝජනා ස්ථිරත්වයෙන් පිහිටු වූ සමගි ජන බලවේගයේ ඉදිරි ගමන අඩාල කිරීමේ චේතනාවෙන් දේශපාලන ඩීල් දමා මගේ කකුලෙන්  අදින්න පටන් ගෙන තිබුණද සියලු කුමන්ත්‍රණ පරදා දුරකථනය ජයග්‍රහණය කර සමගි බලවේග රජය පිහිටුවීමෙන් හා ඇමති මණ්ඩලය පත් කිරීමෙන් පසු  සිරිකොත බලයද අල්ලන බවත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගම්පහදී පැවසීය.

සමගි ජන බලවේග පක්ෂ මහ මැතිවරණ ප්‍රචාරක රැස්වීමට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා එසේ ප්‍රකාශ කළේය.
ගම්පහ ආසන සංවිධායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා හමුව සංවිධානය කර තිබුණි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

‘‘වත්මන් පොදුජන පෙරමුණ බලයට පත්වීමට පෙර සිටම ජනතාව මුළා කළා. කැලණි ගඟෙන් රන් කරඬුවක් මතුවීමේ සිද්ධිය සමගින් බුද්ධාගමටත්, මහා සංඝරත්නයටත් නිග්‍රහ කළා. ඒ සිද්ධියත් සමග රටේ ස්වර්ණමය යුගය උදාවන බවද ප්‍රකාශ කළා. දුරභීක්ෂ, නාය යෑම්, ගංවතුර, ලෙඩ රෝග යළිත් නොවන බවද ප්‍රකාශ කළා. ඒත් කොරෝනා වෛරසය රට විපතට පත්කළා. ගං වතුර, නාය යෑම ජනතාව පීඩාවට පත්වීම් නොකඩවා  වෙනවා.

පරිප්පු, සැමන්වලිනුත් බොරුව කළා. සහල් මාෆියාවත් ඒ වගේම සැලසුම් සහගත වැඩක් වුණා. කොරෝනා සහන දීමනාව මගින්ද ජනතාව ප්‍රදේශයේ පොහොට්ටු මන්ත්‍රීන් හමුවේ දනින් වැටෙන තත්ත්වයට පත් කළා. මාර්තු, අප්‍රේල් විදුලි බිල හා ජල බිල් ගෙවන්න එපා කියා ඇමැතිවරයකු ජනතාවට කිව්වා. නමුත් මැයි මාසයේ සියලු අය කිරීම් බිලට එකතු කළා. රට යහපත් තත්ත්වයට පත්වනතුරු සමගි ජන බලවේගය රජය යටතේ අප සෑම පවුලකටම රුපියල් 20000ක සහන දීමනාව දෙනවා.

ගම්පහ ප්‍රදේශයේ එජාප අපේක්ෂකයෙකු පළාත් පාලන නියොජිතයින්ට බලපෑම් කරන්න පටන්ගෙන තිබෙනවා, මන්ත්‍රීවරුන්ට හිස් කොළේකට අත්සන් කරන්න කියලා. අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන්න එතුමාට කිසිදු අයිතියක් නැහැ. ඔහු දැන් මහ  බැංකු කල්ලියත් සමග එකතු වෙලා. හොඳ බඩු ටිකක් තමයි ඒ පැත්තේ ඉන්නේ.

ඔවුන් සමගම ඒ කල්ලියේම හිටියාවේ. බයවෙන්න  එපා. සමගි ජන බලවේග රජය ස්ථිරවම අප පිහිටුවනවා. දිනන අයට වගේම පරදින අයටත් ප්‍රතිපාදන දෙනවා. ඒ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමටයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය  අජිත් මාන්නප්පෙරුම, ගම්පහ නගර සභා මන්ත්‍රී වරුණ මහීපාල යන මහත්වරුද අදහස් දැක්වූහ.
රංජන් රාමනායක, හර්ෂණ රාජකරුණා, එඩ්වඩ් ගුණසේකර, යූ. ජෝර්ජ් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු පිරිස මේ අවස්ථාවට සහභාගි වූහ.