‘‘එජාපයේ සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙන බව විශ්වාසයි‘‘


(පුෂ්පකුමාර ජයරත්න)

රට වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතාට රට ගොඩ නැඟීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසූරිය මහත්වරු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනාගේ ආශිර්වාදය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සජිත් ප්‍රේමදාස මහතා අද (05) සවස කුරුණෑගලදී ප්‍රකාශ කළේය.

තමන් බියගුල්ලෙකු හෝ නිවටයෙකු නොවන බවත් තමන්ට එම අවස්ථාව ලබා දුනහොත් සියලුම දෙනා ඒකරාශී කරගෙන රට ගොඩ ගන්නා බවත් පොරොන්දු වන බවද ඒ මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා  කුරුණෑගලදී පවත්වන ලද ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ හයිය තමන්ට ලබා දුන්නොත් තමන්ට ඇති රණසිංහ ප්‍රේමදාස එඩිතර භාවයෙන් රට ගොඩ නැගීම සඳහා ප්‍රතිඥා දෙන බවද ඔහු පැවසීය.

මෙය සජිත් සමඟ පෙරට මැයෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන එජාප ජනහමු මාලාවේ තෙවැන්න වන අතර කුරුණෑගල සත්‍යවාදී පිටියේදී මෙම ජන හමුව පැවැත්විණි.

මෙම ජනහමුව හේතුවෙන් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගය පැය හතරකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන්ම වසා තැබීමට පොලිසියට සිදුවිය.

මෙම ජන හමුවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ ,  විදේශ වෙළද සහ උපාය මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසිංහ

ස්වදේශ කටයුතු අභ්‍යන්තර කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල,රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා , මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න , ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා , පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි , කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සුජිත් පෙරේරා , ගම්පහ දිස්ත්‍රික් හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා , මාතලේ නගරාධිපති  රංජිත් අලුවිහාරේ මහත්වරු මෙම ජන හමුවට සහභාගි වූහ.

ඔවුන්ට අමතරව තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා , චන්ද්‍රානි බණ්ඩාර , සුජීව සේනසිංහ , දිලිප් වෙදආරච්චි , ඉන්දික බණ්ඩාරනායක , බන්දුලාල් බණ්ඩාරිගොඩ මැති ඇමැතිවරු සම හිටපු පළාත් නියෝජිතයෝ සහ පළාත් පාලන නියෝජිතයින් විශාල පිරිසක්ද සහභාගි වූහ.