‘‘මත්කුඩු ජාවාරම නවතා දැමීමට කටයුතු කරනවා‘‘


(කාංචන කුමාර ආරියදාස)

තමා නියෝජනය කරන කණ්ඩායම බලයට පත්වුවහොත් මත්කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ නායක ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (24) දඹුල්ලේ දී පැවසීය.

රට ගොඩනගන ගොවි ජන බලය ගොවි ජන සමුළුව නමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සමුළුව දඹුල්ලේ දී පැවැති අතර එම අවස්ථාවට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු දිවයිනේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය නියෝජනය කරන ගොවීන් එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

දඹුල්ල ගම්උදාව භූමියේ සිට සටන් පාඨ කියමින් පාගමනින් ගොවීහු දඹුල්ල සති පොළ භූමියට පැමිණ ගොවිජන සම්මේලනයේ සමුළුව ආරම්භ කළහ.

මෙහිදී අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මත් කුඩු නිෂ්පාදනය නොකරන දූපතක් වූ මෙරට මත්කුඩු ජාවාරම නැවැත්වීම සඳහා ඕනෑ තරම් හැකියාව පවතින බවය. 

පොලිස් නිලධාරීන්ට ද ඒ සඳහා දක්ෂතාවයක් පවතින බවද හෙතෙම කියා සිටියේය. එහෙත් මත්කුඩු ජාවාරම සහ ප්‍රවාහනය සිදු කරනු ලබන්නේ මෙරට දේශපාලනඥයන්ගේ වාහනවලින් බවටද චෝදනා කළේය.

රටේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව  හා තමන් අනුරාධපුර තබුත්තේගම ගමට ගිය අවස්තාවක අම්මා ,නැන්දා අක්කලා වටකරගෙන   මෙම මත්කුඩු ජාවාරම නවතා දෙන්නැයි තමන්ගෙන් ඉල්ලීම් කළ බව කිවේය . 

විශාල වශයෙන් මෙරට මත්කුඩු ජාවාරම ව්‍යාප්ත වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

කිසිදු ආකාරයකින් මත්කුඩු ජාවාරමට තම නායකත්වයෙන් යුතු පවත්වන රජයකින් ඉඩහසර ලබා නොදෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය

කෘෂිකාර්මික නවෝදයක් ඇති වන පරිදි නව කෘෂිකර්ම ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීම සඳහා මේ වන විටත් සියලු කෙටුම්පත් සකසා අවසන් බව ද ඉදිරියේදී ගොවියාට ශක්තිමත් ආර්ථිකයක් එන සහ ගොවියාට පිළිගැනීමක් ඇති වන පරිදි ඉදිරියේ සැලැස්මක් සූදානම් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

වසර හැත්තෑ එකක් කාලයක් රට විනාශකාරී තත්ත්වයෙන් බේරාගැනීම සඳහා මේ වනවිටත් විද්වතුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත්ව තිබෙන බවද ඒ සඳහා ගොවි ජනතාවගේ සහයෝගය අවැසි බව ද අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවේදී ගොවිතැන සම්මේලනය යෝජනා දෙකක් සම්මත කර ගැනීම විශේෂත්වයක් විය එනම් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය  ඉදිරි ජනාධිපති මැතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාට සිය සහයෝගය ලබා දීමටත් ගොවි ජනතාව සඳහා ගොවි ජනතාව නඟා සිටුවීම සඳහා විශේෂ ප්‍රඥප්තියක් ඇතිකර ගැනීම යෝජනා  විය.