(එස්. ඩි. කොඩිකාර )
බලයට එන්නට පෙර මිනිසුන්ට වෙඩි තබන්නට හැකියාව තිබෙන කල්ලියට වැරදීමකින් හෝ බලය ලැබුණහොත් සිදුවන්නේ කුමක්දැයි ජනතාවට අමුතුවෙන් කිව යුතු නැති බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙනියාය මොරවකදී අ(07) පැවසීය.
වෙඩි කන්නට ඕනෑ නම් පොහොට්ටුවට ඡන්දය දෙන ලෙසත් බත් කන්නට ඕනෑ නම් හංසයාට ඡන්දය දෙන ලෙසත් මා මීට කලින් පවසා තිබූ කරුණ දැන් ඔප්පු වී තිබෙන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසුවේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා දෙනියාය මොරවක පැරණි බස්නැවතුම් පොළ භූමියේ (07) පැවති ජන හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීය.
‘‘දැන් එළඹිලා තියෙන්නේ නැවතත් අපේ ආණ්ඩුවක් ඇතිකරන අවස්ථාවක්. 16 දා ඡන්දේ දෙන්නේ අපේ අනාගතය වෙනුවෙන්. සංවර්ධනය, නිදහස ඉදිරියට ගෙනියනවද ආපසු අදුරු යුගයකට යනවද සමහරු අහනවා මේ ආණ්ඩුව කළේ මොනවද කියලා.
අමුතුවෙන් කියන්න දෙයක් නෑ.අපි සමෘද්ධි මුදල් වැඩිකලා. මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකළා. පාසැල් සිසුන්ට නොමිලේ රක්ෂණයක් දුන්නා. භික්ෂුන් වහන්සේලාට නොමිලේ රක්ෂණයක් දුන්නා. රන්මාවත් එකෙන් මං මාවත් දියුණු කළා. ගම්පෙරලිය යටතේ ගමේ සංවර්ධනයක් ඇති කළා.
අපි මේ රටට එන සංචාරකයින් දෙගුණයක් කළා. ලගම පාසල හොදම පාසල යටතේ අළුත් ගොඩනැගිලි ලබාදුන්නා. උපකරණ ලබාදුන්නා. පුහුණු ගුරුවරු ලබාදුන්නා. පාසල් අධ්‍යාපනය දියුණු කළා. අළුත් පීඨ 13 ක් ආරම්භ කළා.
විශ්ව විද්‍යාල ශිෂ්‍ය නේවාසිකාගාර 400ක් ලබා දුන්නා. මේ විදියට කාටත් බලපාන කටයුතු වැඩි කළා. අධිකරණ, පොලිසි, මැතිවරණ කොමිසමට නිදහස දුන්නා. දැන් නිදහස් සමාජයක් ඇතිවෙලා තිබෙන නිසා නිදහස් සාධාරණ මැතිවරණයක් පවත්වනවා. සුදු වෑන් නැවැත්තුවා.
අද ජීවන වියදම ගැන සමහරු කතා කරනවා. එදා 162 ට තිබුණ පෙට්‍රල් ලීටරය අද 137යි. එදා 110 තිබුණ ඩීසල් අද 104යි. එදා 110 තිබුණ භූමිතෙල් අද 90යි. එදා පරිප්පු 240යි. අද 120යි. ග්‍රෑම් 400 කිරිපිටි එදා 470යි. අද 345යි. සීනි එදා 120යි අද 100යි.සැමන් 275යි අද 190 යි. එදා තෙල් මිල බඩු මිල අඩුකරන්න බැරුව හිටපු පොහොට්ටුව අද බඩු මිල අඩුකරන්න කතා කරනවා.අපි බඩු මිල අඩු කරපු නිසා ඉල්ලුම වැඩි වෙලා බඩුවල හිගයක් තියෙනවා. අපි ගෑස් මිල අඩුකරපු නිසා ඉල්ලුම වැඩිවෙලා ගෑස් හිගයක් ඇතිවුණා. ඒ නිසා අපි වැඩිපුර ගෑස් ගේනවා.
රජයේ සේවකයින්ගේ පෞද්ගලික අංශයේ පඩි අපි වැඩි කළා. ස්වයං රැකියා කරන අයගේ ආදායම වැඩිවුණා. අවුරුදු 10ක් ඉදලත් මහින්දටත්, ගෝඨාභයටත් , බැසිල් රාජපක්ෂටත් මේක කරන්න බැරිවුණා.
බඩු මිල අඩුකරන්න බැරිවුණා. මේ අය බඩු මිල අඩු නොකර ඔබේ බඩට පහර ගැහුවා. අද මොකක්ද ජීවන වියදම ගැන කතා කරන්නේ කියලා පොහොට්ටුවෙන් අහන්න කැමතියි. වෙනත් භාණ්ඩ තියෙනවා. අපි ඊලග අවුරුදු පහේදී ඒවායේ මිලත් පාලනය කරනවා. සාධාරණ මිලකට ලබා දෙනවා.
හම්බන්තොට වරාය අද කිසිම ණය බරක් නැතුව කරගෙන යනවා. අපිට අනාගතයට යන්නට අවශ්‍යයි. අපි සංචාරක ව්‍යාපාරය දියුණු කළා.
දෙනියායේ මොනින්සයිඩ් හා එන්සල්වත්ත අක්කර 500 සංචාරක කලාප දෙකක් ආරම්භ කරනවා. මේකෙන් මේ පැත්ත දෙනියාය, මොරවක රක්වාන දියුණු වෙනවා .
මහනුවර ඉදන් හම්බන්තොටට මාර්ග පද්ධතියක් ඇතිකළා. කඩාවැටුන ආර්ථිකය හදලා ස්ථාවර තත්වයක් ඇති කරලා ඔබේ අනාගතය වෙනුවෙන් වැඩ සටහන් කරගෙන යන්නේ.
තේ කර්මාන්තය දියුණු කරන්න තියෙනවා. අපසු යළි වගාව කරන්න තියෙනවා. සහනාධාරය දෙන්න තියෙනවා. සහනාධාරය වැඩි කරන්න තියෙනවා. මිල වැඩි කරන්න තියෙනවා. විද්‍යානුකූලව තේ වගා කරන්න,
තේ නිෂ්පාදනය කරන්න තියෙනවා. කෘෂිකර්මාන්තය වගේම කර්මාන්තත් දියුණු කරන්න ඕන.සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න විශාල වැඩ සටහන් ආරම්භ කරලා තියෙනවා.මහනුවර ඉදන් කොළඹට, කොළඹ ඉදන් හම්බන්තොට මාර්ග පද්ධතිය ඉදිවෙනවා.දකුණේ අධිවේගී මාර්ගය අපියි පටන් ගත්තේ. අපියි මුදල් හොයලා දුන්නේ. මහින්ද රාජපක්ෂ යෝජනා කළාට.
දැනටමත් බිංගිරියේ කර්මාන්ත පුරවරයකට අක්කර 1000ක් වෙන්කරලා තියෙනවා. දැනටමත් මෙහි කර්මන්ත 10ක් ආරම්භ කරලා තියෙනවා.හම්බන්තොට අක්කර 10000ක් අරන් තිබෙනවා.
විශාල වෙළද කලාප ඇතිකරලා රැකිය අවස්ථා වැඩි කරලා, යටිතල පහසුකම් ඇතිකරලා සංවර්ධනය ඇතිකරන්න පුළුවන්.සංචාරක කලාප දැනටමත් ඉරණවිල දකුණේ දෙද්දුව, අකුරල තිබෙනවා.
මත්තල ගුවන් තොටුපොල ලබන වසරේ අපි ආරම්භ කළාම මේ පැත්තට සංචාරකයෝ එනකොට මේ පැත්තත් දියුණු වෙනවා. රට ඉදිරියට ගෙනියන්න පුළුවන් සැලැස්මක් තිබෙන්නේ අපිට විතරයි. බලය ගන්න ඉස්සර මිනිස්සුන්ට වෙඩි තියන්න පුළුවන්නම් බලය ගත්තම මොකද වෙන්නේ. ඒ නිසා වෙඩි කන්න ඕනනම් පොහොට්ටුවට ඡන්දේ දෙන්න. බත්කන්න ඕනනම් හංසයාට ඡන්දේ දෙන්න‘‘.යැයි අගමැතිවරයා පැවසීය.