ලෝකෙන් ටිකක්
ඇන්ඩ්‍රෝමිඩා මන්දාකිණියේ ඡායාරූපයක් පළමු වරට දකිද්දී ඇගේ වයස අවුරුදු 12කි. අභ්‍යවකාශ ගවේෂණය ගැන සිහින මවමින්, ඒ සිහිනය සැබෑවක් කරගැනීමට ඇය සමත් වූවාය. ඇය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යවරියයි. එමිරේස්ට් රාජ්‍යය නව මඟකට යොමු කරමින්, එමිරේට්ස් රාජ්‍යයේ ආර්ථිකය නංවාලීම ඇයට පැවැරුණු වගකීමය. එමිරේට්ස් විද්‍යා කවුන්සිලයේ ප්‍රධානියා ඇයයි. එමිරේට්ස් රාජ්‍යය පෘථිවි කක්‍ෂයේ රැඳවූ චන්ද්‍රිකා නිර්මාණයට ඇය දායක වූවාය. ‘එමිරේට්ස් මොහොමද් බින් රෂීද්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානය අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ රහස් සෙවීමට ආරම්භ කළ මෙහෙයුමට නායකත්වය දෙන්නේ ඇයයි. ඇය සාරා බින් යූසෙෆ් අල් අමීරි ය. ඇගේ වයස අවුරුදු 33කි.
අල් අමීරි උපතින් එමිරේට්ස් ජාතික තරුණියක නොවෙයි. ඇය ඉරාන ජාතිකයෙකි. ඉරානයේ සිටියේ නම්, ඇයට මේ කිසිදු ජයග්‍රහණයක් හිමි කරගැනීමට හැකිවන්නේ නැත. අල් අමීරි, උපත ලබා ඇත්තේ 1987 වසරේය. ඇගේ පියා යූසොෆ් අමීරි, සිස්ටන් සහ බලුකිස්තාන පළාතේ නික්ෂාර් නගරයේ වැසියෙකි.
අල් අමීරි, පියා සහ මව ද සමඟ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට සංක්‍රමණය වී ඇත්තේ ඇය කුඩා කාලයේය. අද අල් අමීරි, එක්සත් අරාබි එමිරේට්ස් වැසියෙකි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට සම්පතකි. අල් අමීරි විවාහකය. ඇය දෙදරු මවකි.
තම දියණියට හොඳ අධ්‍යාපනයක් ලබාදිය යුතු බව පියා යූසොෆ් අමීරි ට අවබෝධ වූයේ අමීරි ගණිතයටත් විද්‍යාවටත් බොහෝ සේ ප්‍රිය කළ බැවිනි. අල් අමීරි අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි බසිනි. ඇය ඇමෙරිකානුවකුට වඩා හොඳින්, චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරුවයි. ඇය සාජා හි, ඇමෙරිකන් විශ්වවිද්‍යාලයෙන් පරිගණක විද්‍යාව හැදෑරුවා ය. උසස් අධ්‍යාපනය අවසන් වෙද්දී ශාස්ත්‍රපති සහ ශාස්ත්‍රවේදී උපාධි හිමි කරගත්තා ය. අභ්‍යවකාශ යානා තාක්‍ෂණය සම්බන්ධයෙන් අල් අමීරි සැමවිටම උනන්දුවක් දැක්වූවත්, ඒ වෙනවිට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අභ්‍යවකාශ මෙහෙයුම් සම්බන්ධයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වූයේ නැත. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා යොමුවීම, අල් අමීරිගේ සතුටට කරුණක් විය. කුඩා කල සිට පැවැති තම සිහිනය සැබෑ කරගැනීමට මඟ සකස් කිරීමක් ද විය.
අල් අමීරි පළමුවෙන් රැකියාව කළේ පරිගණක ඉන්ජිනේරුවරියක ලෙසය. ඇය එමිරේට්ස් විද්‍යා තාක්‍ෂණ ආයතනයට සම්බන්ධ වූවාය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පළමු චන්ද්‍රිකා ද්විත්වය වන ‘ඩුබායි සැට් 1’ සහ ‘ඩුවායි සැට් 2’ යන යානා නිර්මාණයට දායක වූයේ ඇයයි. ඇය දේශපාලනයට පිවිසුණේ ඉන්පසුවය. අල් අමීරි එමිරේට්ස් පරිසර අමත්‍යාංශයට සම්බන්ධ වී වැඩ කළාය. ඩුබායි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඉහළ තනතුරක් පවා හෙබවූවාය. එමිරේට්ස් රාජ්‍යය වර්තමානයේ දියුණුවෙන් දියුණුවට පත් වී ඇත්තේ උගත්කමට තැන දීමෙනි. සුදුස්සාට සුදුසු දේ ලබාදීමෙනි. කාන්තා අයිතීන් සුරකිමින් ඔවුන්ට සම තැන දෙමිනි. 2016 දී අල් අමීරිගේ ජීවිතය වෙනස් විය.
2016 දී, එමිරේට්ස් විද්‍යා කවුන්සිලයේ ප්‍රධානියා ලෙස අල් අමීරි පත්කෙරුණි. වසරක් යද්දී, ඇයට තවත් උසස්වීමක් ලැබුණි. ඒ අනුව, අභිනවයෙන් පිහිටු වූ විද්‍යා තාක්‍ෂණ අමත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ඇය පත්කෙරුණි. ඒ, 2017 වසරේ සිදුවුණු කැබිනට් සංශෝධනයකිනි. එමිරේට්ස් විද්‍යා තාක්‍ෂණ ඇමැති ධුරයට කාන්තාවක පත්කෙරුණු පළමු අවස්ථාව මෙය විය.
අල් අමීරිගේ වයස අවුරුදු 33කි. අද ඇය එමිරේට්ස් රාජ්‍යයේ පළමු අඟහරු ගවේෂණ මෙහෙයුම වන ‘අල් අමල්’ හි ව්‍යාපෘති ප්‍රධානියා ලෙසත් කටයුතු කරන්නීය. එක්සත් අරාබිය, මෙම අඟහරු මෙහෙයුම ආරම්භ කළේ ඇමෙරිකාවේ සහ ජපානයේ සහාය ඇතිවය. ඇමෙරිකාවේ කොලරාඩෝ බෝල්ඩර් විශ්වවිද්‍යාලය, කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලය, ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලය අඟහරු මෙහෙයුම සඳහා හවුල් වී සිටී. පසුගිය ජුලි මාසයේ ‘අමල්’ රොබෝ ගවේෂණ යානය පෘථිවි කක්ෂයට තල්ලු කිරීම කළේ ජපානයේ රොකට්ටුවක් ආධාරයෙනි. ‘අමල්’ රොබෝ යානයට සම්බන්ධ කැමරා පද්ධතිය සහ සන්නිවේදක පද්ධතිය ‘එමිරේට්ස් මොහොමද් බින් රෂීද්’ ඉංජිනේරුවන් නිර්මාණය කළේ ඇමෙරිකා නාසා ආයතනයේ උපදෙස් අනුවය.
“ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණියේ ඡායාරූපයක් පළමු වරට දකිද්දී මගේ වයස අවුරුදු 12යි. අප සෞරග්‍රහ මණ්ඩලය පිහිටි ක්ෂීරපථයට ළඟින්ම තිබෙන්නේ ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණියයි.” තම අතීත සිහිනය ගැන අල් අමීරි මෙසේ පැවැසුවේ, ඩුබායි හි ‘ටෙඩෙක්ස්’ සමුළුවකට එක්වෙමින්, අඟහරු මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ඇය එදා කළ මෙම කතාව, විද්‍යාව සහ තාක්‍ෂණය ගැන උනන්දුවක් දක්වන එමිරේට්ස් තරුණ තරුණියන්ට පන්නරයක් විය. තමන් අභ්‍යවකාශය ගැන උනන්දු වූයේත්, අභ්‍යවකාශය ගැන වැඩිදුර හැදෑරුවේත්, ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණියේ එම ඡායාරූපය නිසා යැයි එම අවස්ථාවේදී ඇය පැහැදිලි කළාය. 2016 වසරේ, ලෝක ආර්ථික එකමුතුවේ ජාත්‍යන්තර සමුළුවට අල් අමීරි ට ඇරැයුම් ලැබුණි. ඒ, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට මහත් ගෞරවයක් එක් කර දෙමිනි. 2017 වසරේ නොවැම්බරයේ, ‘ටෙඩෙක්ස්’ ජාත්‍යන්තර සමුළුව පැවැත්වූයේ ඇමෙරිකාවේ ලුවිසියානාදී ය. ‘අමල්’ මෙහෙයුම ගැන විස්තර කිරීමට, අල් අමීරි ඊට සහභාගී වූවා ය. ටෙඩෙක්ස් සමුළුවට සහභාගී වූ පළමු එක්සත් අරාබි එමිරේට්ස් ජාතිකයා ඇය විය. එය ද අල් අමීරි ලැබූ ජයග්‍රහණයකි.
‘අමල්’ රොබෝ යානය අඟහරු හෙවත් රතු ග්‍රහයා බලා පිටත් කර හැරුණේ පසුගිය ජුලි 20 වැනිදා ය. මාස 7ක ගමනකින් පසු යානය ලබන 2021 වසරේ, අඟහරු කක්ෂයට පිවිස, අඟහරු වායුගෝලය ගවේෂණය කරනු ඇත. ලබන 2021 වසර එමිරේට්ස් රාජ්‍යයට සුවිශේෂී එකකි. ඒ, එමිරේට්ස් රාජ්‍යය ස්ථාපිත කර වසර 50ක් සපිරීම ය. ‘අමල්’ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පළමු අඟහරු මෙහෙයුම වෙන අතර, අරාබි රටකින් අඟහරු වෙත යානයක් යැවුණු පළමු අවස්ථාව ද මෙයයි. ‘අමල්’ යන්නෙහි අර්ථය ‘බලාපොරොත්තුව’ යන්න ය. කාන්තාවකගේ නායකත්වයෙන් (විශේෂයෙන් අරාබි රටක) අඟහරු බලා යානයක් පිටත් කර හැරීම, ලොව සමස්ත කාන්තාවන් ලැබූ ග්‍රහණයක් බව අවිවාදයෙන් කිව යුතුය.
තාක්ෂණය, ගණිතය සහ ඉංජිනේරු විද්‍යාව කෙරෙහි එමිරේට්ස් තරුණ ප්‍රජාව වැඩි වැඩියෙන් යොමු වෙනු දැකීම තම බලාපොරොත්තුව යැයි අල් අමීරි වරක් පවසා තිබුණි. “ලෝකය ජය ගන්න, විශ්වය ජය ගන්න, ඉදිරියට යන්න මට අවස්ථාවක් උදා කළේ විද්‍යාව. විද්‍යාවට සීමා බාධක නැහැ. ආසාව තිබෙනවා නම්, උනන්දුව තිබෙනවා නම්, සිහින මවනවා නම්, ඒ සිහින සැබෑ කරගැනීම අපහසු වන්නේ නැහැ.” අල් අමීරි පෙන්වා දී තිබේ. අද අඟහරු මෙහෙයුමට සම්බන්ධ විද්‍යාඥ කණ්ඩායමේ කාන්තා නියෝජනය සියයට 34කි. එමිරේට්ස් විද්‍යාඥ කණ්ඩායමේ කාන්තා නියෝජනය සියයට 80කි. මෙම පරිවර්තනයට නායකත්වය දුන්නේ අල් අමීරි ය.
ලුසිත ජයමාන්න
යූටියුබ් චැනල්
අයිඇම් ඇසුරිනි