ජයගැනීම සඳහා වටිනා ගාථාරත්නයක්


ජයග්‍රහණය හා බැඳුණු අනෙක් පාර්ශ්වය නම් පරාජයයි. මෙය එකම කාසියක දෙපැත්ත මෙනි. ජීවිතයේ ජය මෙන්ම පරාජයට හිත හුරුපුරුදු කළ යුතුයි. පරාජය ඔස්සේ සිත පලායන්නට දුක්වන්නට ඉඩ නොදිය යුතුය. එවිට අප සිත අටලෝ දහමෙන් කම්පා නොවේ. එබැවින් අප හැකි හැම විටම සිත මධ්‍යස්ථ ස්වභාවයෙන් පවත්වාගතහොත් මෙම හැඟීම් දෙකම අපට එකක් සේ දැනෙයි.   


පරාජය කෙසේ වෙනත් අප හැකි හැම විටම ජයග්‍රහණය කිරීමට කටයුතු කළ යුතුය. මක්නිසාදයත්. ජීවිතයේ උත්සාහය හා වීර්යය යන කරුණු මත පදනම්ව බැලුවහොත් අප යමකට බිය වී පසෙකට යන්නේ නම් ඔහුට සංසාර මාර්ගයෙන් ඉවත්ව නිවන් සුවයට පත්වීමට පවා නොහැකිය. එබැවින් සැම විටම අප ජයග්‍රහණය සඳහා කැපවී වැඩ කළ යුතුය.   
ගෞතම බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුද්ධ රාජ්‍යය දිනාගැනීම උදෙසා සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂය පෙරුම්පුරා සිදුහත් බෝධිසත්වයන්සේ ඉපිද බවුන් වඩා පස්මරුන් පරාජය කළහ. එහිදී උන්වහන්සේ බුද්ධරාජ්‍යය ජයග්‍රහණය කළ නිසා අද අපටද එම ධර්මයේ සුවය විඳීමට හැකිය. බුදුන් වහන්සේගේ මෙම ක්‍රියාව නිසාවෙන් දෙවිබඹහු පවා නිවන් මාර්ගය දුටහ. තවත් නොයෙක් ඇත්තෝ තම සාංසාරික ජීවිතය විවිධ මාර්ග ඔස්සේ සමෘද්ධිමත් කරගෙන නොයෙක් ජයග්‍රාහී මාර්ගයක් විවෘත කර ගත්හ. මෙයින් පෙනී යන්නේ අප නිවැරදිව යම් තරගයකින් ජයග්‍රහණය කළ විට තවත් බොහෝ දෙනෙකුට තමා විසින් ලබාගන්නා ලද ජයග්‍රහණය යහපත පිණිස හේතු වන බවයි. එබැවින් ජයග්‍රහණය සඳහා තිබිය යුතු මූලික ගුණයක් වන්නේ මෛත්‍රී සිතක් තිබිය යුතු බවයි. යමෙක් මෙලෙස මා විසින් ඉදිරිපත් වන මෙම තරගයෙන් ජයග්‍රහණය කරන්නේ නම් එයින් සියලු දෙනාටම යහපතක් වේවා යන අදහසින් තරගයට ඉදිරිපත් වුවහොත් ඒකාන්තයෙන්ම ඔහුට ජයග්‍රහණයක් කොයි අංශයකින් හෝ ලැබීමට පුළුවන. ආධ්‍යාත්මික ලෝකය තුළ මිනිසුන් යහපත් සිතිවිලි දරාගන්නේ නම් එහි ප්‍රතිඵලය පුදුමකරවන සුලුය. එසේවීමට හේතු ප්‍රත්‍ය වනුයේ තමාගේ අරමුණ හුදෙක් බලලෝභී භාවයෙන් තොරව සිදු කරන දෙයක් බැවිනි. බොහෝ අරමුණු ව්‍යර්ථ වීමට හේතු වනුයේ තම සිත තුළ මමය, මාගේ පමණි යන දැඩි තණ්හාව සිත නිසාවෙන් තම ජීවිතයේ බොහෝ යහපත් අවස්ථා වියැකී යයි.   
තමා සෑම විටම ඉදිරිපත් විය යුත්තේ මෙය හුදෙක් මට පමණක් නොව අන් අයගේ යහපත පිණිස ද වන හෙයින් මෙය මා විසින් සිදු කළ යුතුයි යන සිත හැකි සෑම විටම පෙරට තබාගෙනය. ඔබ ඔබගේ කටයුතු අවංකව සිදු කරන්නේ නම් ඒවායේ ප්‍රතිඵල යහපත් වන බවට අවිශ්වාස සිතක් ඇති නොකර ගන්න.   


ජයග්‍රහණය සඳහා උක්ත සඳහන් කළ පරිදි සිත සකස් කළ පුද්ගලයාට විවිධ ශක්තීන් ඔස්සේ ද භාවනා ක්‍රම, පිරිත් සජ්ඣායනා වැනි ක්‍රමයන් මඟින්ද අපට ආශිර්වාදය ලබා ගත හැකිය. මෙවැනි ක්‍රම මඟින්ද ජීවිතයේ එන යම් යම් බාධක දුරු කරගෙන අපගේ අරමුණු සාර්ථක කරගත හැකිය.   


එබැවින් සියලු දෙනාට තම ජීවිතයේ එන බාධක දුරුකරවාගෙන යහපත උදාකරව ගැනීමට වටිනා ගාථා රත්නයක් පිළිබඳව කරුණු කියමි. මෙම ගාථාරත්නය යමෙක් උදේ සවස භාවිත කරයිද හෙතෙම හට තමා කරන කියන වැඩ කටයුතුවලින් යහපත හා ජයද සැලසේ. පිරිසිදුව මෛත්‍රී සිතින් භාවිත කිරීමෙන් විපුල ඵල ලැබීම නිසැකය. 

 
ගාථාව   


ජයෝහි බුද්ධස්ස සිරිමතො අයං- මාරස්ස පාපිමතො පරාජයො   
උග්ගොස යුං බෝධි මණ්ඩපෙ මෝධිතා- ජයත් තදා දෙවගනා මහෙසිනො   
ජයො මුනින්දස්ස සුබෝධිමූලේ- අහොසි මාරස්ස පරාජයෝහි   
උග්ගෝසයුං දේවගනා පසන්නා- එතෙන සච්චේන ජයස්සු මහියං   
නමෝ ශ්‍රී බුද්ධ ජය ජය ඒස්වා හඃ   
නමෝ ශ්‍රී බුද්ධ දැපනේ ස්වා හඃ   
නමෝ ශ්‍රී මුනිතාරේ තාරේ විජ්ජාචරණ ලොකේස්වා හඃ   


මෙය පිරිසිදුව යමෙක් දහස් වරක් පිරිත් කරන්නේ නම විපුල ඵල ලැබේ. තෙල්, පැන් පිරිත් කර සැම තරග විභාග යන දූ දරුවන්, ලොකු කුඩා සැම තුනුරුවන්ගේ බලය පෙරදැරි කරගෙන උක්ත සඳහන් ගාථා භාවිත කරන්න. දිනෙන් දින පෙරට වඩා ඔබගේ දියුණුවේ ජයග්‍රහණය උදාවේ. ප්‍රතිඵල සත්‍ය බව අත්දැකීමෙන්ම දනී.   

 


මයිහං- තමන්ට   
තුයිහං- අනුන්ට 

 

ආර්. රධික ජීවන්ත
කොළඹ සරසවිය