ඉංග්‍රීසි බසින් පළවන ලොව කීර්තිමත් සඟරාවක් ලෙස ඇමෙරිකාවේ ‘ටයිම්’ සඟරාව හැඳින්විය හැකිය. සෑම වසරකම, ‘ටයිම්’ සඟරාව, කැපී පෙනෙන සේවයක් ලොවට සිදු කරන, එසේත් නැතිනම් ලෝකය වෙනස් කරන පුද්ගලයන්, ‘වසරේ පුද්ගලයන්’ ලෙස නම් කර ඔවුන් හඳුන්වා දීමක් සිදු කරයි.
2020 වසරේ ලෝකය ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බැටකද්දී, වසරේ විශිෂ්ටතම පුද්ගලයන් කීප දෙනකු නම් කිරීමට මෙවර ‘ටයිම්’ සඟරාව කටයුතු කළේය. ඒ අවස්ථා කිහිපයක දීය.
පසුගිය දෙසැම්බර් 4 වැනිදා ‘ටයිම්’ සඟරාව අලුත් විශේෂාංගයක් ලෙස ලොව ‘හොඳම ළමයා’ හඳුන්වා දුන්නේය. ඇය ඉන්දීය සම්භවයක් ඇති යෞවනියක වන ගීතාංජලී රාවෝ ය. ඉන්පසු 2020 වසරේ විශිෂ්ටතම පුද්ගලයන් ලෙස ඡන්දෙන් තෝරා ගන්නා ලද්දේ කෝවිඩ්-19 වසංගතයේ දී ඒ අභියෝගය භාර ගනිමින් කටයුතු කළ ලොව පුරා විසිරී සිටින වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සාත්තු සේවක සේවිකාවන් ඇතුළු ‘අත්‍යවශ්‍ය සේවක පිරිස’ ය.
ඉන්පසු අවසන් වරට එළිදැක්වුණු ‘ටයිම්’ සඟරාව, එහි සංස්කාරක මණ්ඩලයේ තේරීම අනුව, 2020 වසරේ විශිෂ්ටතම පුද්ගලයන් ලෙස දෙදෙනකු නම් කළ අතර, ‘ටයිම්’ සඟරාවේ කවරය ඔවුන් දෙදෙනාගේ රුවෙන් හැඩ ගැන්විණි. ඔවුන් දෙදෙනා ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති වීමට නියමිත ජෝ බයිඩන් සහ උපජනාධිපති ධුරයට පත් වන කමලා හැරිස් ය. ඉන්දීය ජමෙයිකා සහ ඇමෙරිකන් සම්භවයක් ඇති කමලා හැරිස් ඇමෙරිකා උපජනාධිපති ධුරයට පත් වන පළමු කාන්තාවය. බයිඩන් සහ කමලා හැරිස්, ඔවුන්ගේ ධුරවල දිවුරුම් දෙනු ඇත්තේ ලබන ජනවාරියේ ය. ඒ අනුව, ධුර සඳහා තේරී පත් වුණු, තවමත් දිවුරුම් නුදුන්, ජනාධිපති හා උපජනාධිපති යුගලයක් වසරේ විශිෂ්ට පුද්ගලයා ලෙස ‘ටයිම්’ නම් කළ පළමු වන අවස්ථාව ද මෙයයි.
අද ‘වසරේ විශිෂ්ටත පුද්ගලයා’ යන නමින් නම් කෙරුණත් අතීතයේ එනම් දශක නවයක් තිස්සේ ‘ටයිම්’ සඟරාව සිය තෝරා ගැනීම් කළේ ‘වසරේ මිනිසා’ යන තේමාව යටතේය. එය, ‘වසරේ විශිෂ්ටත පුද්ගලයා’ ලෙස වෙනස් වූයේ 1999 දීය. වසරක් පාසා ලෝකයේ ජන ජීවිතයට හොඳින් හෝ නරකින් ලොකු බලපෑමක් කරන පුද්ගලයන් හෝ සංවිධාන ටයිම් සඟරාව විසින් නම් කරනු ලැබුණි. ඊට පුද්ගලයන් පමණක් නොව, මානව හිතවාදී ව්‍යාපාර පමණක් නොව විවිධ සංවිධාන ඇතුළත් විය. එක් අවස්ථාවක පෘථිවි ග්‍රහයා ද ඊට අතුළත් විය.
ලුසිත ජයමාන්න
ටයිම් සඟරාව ඇසුරිනි