පාතාල දඩබ්ම
සන්ෂයින් සුද්දා වැටි වැටී දිව යන අයුරු.
වෙඩික්කරු සන්ෂයින් සුද්දා පසු පස දිව යන අයුරු
- හරක්කටා මාකඳුරේ මධුෂ්ගේ සමීප ගෝලයෙක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජය බලයට පත් වූ පසු දකුණේ පාතාලය කෙටි කාලයක් නිහඬව පැවතියේය. විශේෂයෙන්ම දකුණ භීතියට පත් කර ගෙන සිටි පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ් පොලිස් අත්අඩංගුවට පත් වීමද ඊට ප්‍රධානතම හේතුව බවට පත් විය.
කෙටි කාලයක් පැවති ඒ නිහැඬියාව බිඳ දමමින් ඉකුත් 30 වැනිදා යළිත් මාතර වැලිගම මිරිස්ස ප්‍රදේශයෙන් පාතාල වෙඩි හඬ ඇසෙන්නට විය. ඒ මිරිස්සේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ අමිල ප්‍රසංග නොහොත් සන්ෂයින් සුද්දාට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියත් සමගය.
මිරිස්ස වරාය පාරේ තේ වෙළෙඳසලක් වෙත ගොස් උදෑසන තේ පානය කරමින් සිටියදී සන්ෂයින් සුද්දා මෙම සිද්ධියට මුහුණ දුන්නේය. පෙර වාසනාවක් නිසාදෝ සන්ෂයින් සුද්දා වැටි වැටී දුවමින් අසල නිවසකට පැන දොර වසා ගැනීම හේතුවෙන් සිය ජීවිතය බේරා ගැනීමට සමත් විය. එහෙත් ඔහුගේ වම් අතට වෙඩි ප්‍රහාරයක් වැදී සුළු තුවාල සිදු වී තිබුණි.
ඝාතන කුරුමානම වැරදීමත් සමග වෙඩික්කරු පලා යාමට සමත් වුවත් ඔහු සමග යතුරුපැදිය පදවා ගෙන පැමිණි සැකකරුට එම අවස්ථාව හිමි නොවීය. ඒ මිරිස්ස ප්‍රදේශවාසී තරුණයින්ගේ දක්ෂතාව නිසාවෙනි. යතුරුපැදිකරු ඔවුන් විසින් අල්ලා ගෙන තිබූ අතර තවත් එවැනි අපරාධ සිදු නොකිරීමට ගුටි බැට දෙමින් දඬුවම්ද කර තිබුණි. අවසානයේ ඔහු පොලිස් අත්අඩංගුවට පත් වූයේ කකුලක් ද කැඩී ගිය පසුවය.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ වැලිගම පොලිසියේ ස්ථානාධිපති ඩී.එම්. අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයේ සිටි සැකකරු මුදා ගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු මාතර මහ රෝහලට ඇතුළත් කළහ.
වෙඩි ප්‍රහාරයට ලක්වූ ව්‍යාපාරික සන්ෂයින් සුද්දා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පිටත් කර යැවීය.
වෙඩි තැබීම සිදු කර පලා ගිය වෙඩික්කරු අත්අඩංගුවට ගැනීම සඳහා මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි අනිල් ප්‍රියන්ත මහතා විසින් ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කෙරිණි. වැලිගම පොලිසියේ සහායට කොටවිල පොලිසියේ ස්ථානාධිපති රොෂාන් හෙට්ටිආරච්චි, මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති එච්.කේ. කමල්, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ඒ. සමන් හා උප පොලිස් පරීක්ෂක ජේ. පතිරත්න යන මහත්වරු ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් ද වහා ක්‍රියාත්මක වන පරිදි කැඳවා පරික්ෂණ පැවැත්වීමට උපදෙස් දුන්නේය.
ඒ අනුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූයේ මෙම අපරාධය මිදිගම ප්‍රදේශයේ පාතාල කල්ලි සාමාජිකයෙකු වන “හරක් කටා” නමැත්තා විසින් මෙහෙයවා ඇති බවයි. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පැවැත්වුව ද ඒ වන විටත් ඔහු ප්‍රදේශය අතහැර පලා ගොස් තිබුණි.
මත්කුඩු ජාවාරම මහා පරිමාණයෙන් සිදු කරන්නෙකු ලෙසට ප්‍රසිද්ධියට පත් “හරක් කටා” දකුණේ පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ සමීපතම ගෝලයෙකි.
එමෙන්ම වෙඩි ප්‍රහාරයට ලක්වූ මිරිස්සේ ප්‍රසිද්ධ ව්‍යාපාරික සන්ෂයින් සුද්දා ද මාකඳුරේ මදුෂ්ගේ මිතුරෙකි. ඩුබායි හී පැවති උපන් දින සාදයදා මාකදුරේ මදුෂ් සමග අත්අඩංගුවට පත් පිරිස අතර සන්ෂයින් සුද්දා ද සිටියේය.
එහෙත් මෙවර “හරක් කටා”ට සන්ෂයින් සුද්දා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ දැනට ඉන්දියාවේ සැගවී සිටින බව කියන පාතාල කල්ලි නායකයෙකු වූ “අංගොඩ ලොක්කා” විසින් බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය කාලයේ මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු මුහුදු මාර්ගයෙන් මිරිස්ස ප්‍රදේශය ඔස්සේ මෙරටට රැගෙන එන බවට විශාල රාවයක් පැවතියේය. ඒ පිළිබඳ මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී පවා කතා බහට ලක් විය.
පොලිස් බුද්ධි අංශ මෙන්ම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවා ඒ පිළිබඳව සොයා බලන්නට විය. ඒ අනුව සැකපිට පුද්ගලයන් කිහිප දෙනෙකු කොළඹට රැගෙන ගොස් ප්‍රකාශ ද සටහන් කර ගෙන තිබුණි.
මුහුදු මාර්ගයෙන් සිදු වන එම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබා දෙන්නේ “මිරිස්සේ සන්ෂයින් සුද්දා” හා තවත් අයෙකු විසින් බවට අංගොඩ ලොක්කා හා හරක් කටා තුළ සැකයක් පවතී.
එම සැකය මත මෙම ඝාතනය සිදු කිරීමට සැලසුම් කර තිබෙන බව පොලිසිය කියයි.
ඒ සඳහා අංගොඩ ලොක්කා විසින් සොයා ගෙන තිබුණේ දක්ෂ වෙඩික්කරුවෙකු වන අතුරුගිරිය අභයපුර පදිංචි කෝලිත ද සිල්වා නොහොත් අතුරුගිරියේ ජෙරම් නමැත්තාය. කොළඹ පාතාලය පෝෂණය කරන ඔහු යුද හමුදා විශේෂ බළකායේ වසර දහයක පමණ කාලයක් සේවය කර ඉන් පලාවිත් කොන්ත්‍රාත් මුදල් මත මනුෂ්‍ය ඝාතන සිදු කරන අයෙකි.
අවසන් වශයෙන් ඔහු බන්ධනාගාරගතව සිට ඇත්තේ ඔරුවල පදිංචිව සිටි නිමලසිරි තලගල හෙවත් පොඩි සුදූ ඝාතනය කිරීමේ චෝදනාවටය. දැනට ඔහු ඇපමත නිදහස්ව සිටී.
අතුරුගිරියේ ජෙරම් නමැත්තා ද තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූවෙකු වන අතර ඔහු ඉකුත් 24 වැනි දින සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමේ අරමුණින් මිරිස්සට පැමිණ තිබේ. එහිදී තමා සමග පැමිණි යතුරුපැදිකරුට සිය යතුරුපැදිය වේගයෙන් පදවා ගෙන යාමට හසල අත්දැකීමක් නොමැතිකම නිසා ඔහු එදින එම කටයුත්ත කල් දමා නැවත හැරී ගොස් තිබේ.
මිදිගම දී තමා පැමිණී මෝටර් රථය තුළට ගොස් ඇඳුම් මාරු කර ගෙන ගිනි අවිය නැවත “හරක් කටා”ට භාර දී පිටව ගිය බවට ද පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.
කෙසේ නමුදු ඉකුත් 03 වැනිදා උදෑසන අතුරුගිරියේ ජෙරම් නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලබන්නේ වැලිගම මෝදර මංසන්ධියේ දීය. ඒ වන විට ඔහු සන්තකයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 34ක්‍ද තිබී ඇත.
සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමෙන් පසු ජෙරම් නමැත්තා පාරේ යමින් තිබූ ත්‍රිරෝද රථ දෙකක් පලා යාමට උපයෝගී කර ගෙන තිබූ අතර එම ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනා ද පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔවුන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.
මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට සැඟවී සිටින “හරක් කටා” අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.
අතුරුගිරියේ ජෙරම් නමැත්තා අංගොඩ ලොක්කා අනුකරණය කරමින් වෙඩි තැබීම් සිදු කරන අයෙකු බවද කියති. මාකඳුරේ මදුෂ් පොලිස් අත්අඩංගුවේ පසුවන නිසා ඔහු හා සිය සගයින් අතර සියලු සම්බන්ධතා මේ වන විට නතර වී ඇත.
එම නිසා මත් කුඩු ජාවාරම් හේතු කරගෙන මදුෂ්ගේ ගෝලයින් කල්ලි කිහිපයකට කැඩී ගොස් තිබෙන බවද දැනගන්නට ඇත. එපමණක් නොව මදුෂ් නම දරා සිටි තැන ගැනීමට අංගොඩ ලොක්කා උත්සාහ ගනිමින් සිටින බවද ඒ සඳහා පාතාලය තුළ සීතල යුද්ධයක් පවතින බවට ද තොරතුරු වාර්තා වෙයි.
කෙසේ නමුදු බන්ධනාගාරය තුළ සිට සිදු කෙරෙන පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නතර කර දමන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා බන්ධනාගාර ප්‍රධානීන්ට දොස් පවරමින් පැවසීය.
එම නිසා මත් කුඩු ජාවාරම මෙන්ම යළිත් වරක් හිස එසවීමට උත්සාහ දරන පාතාල ක්‍රියාකාරකම් ද පාලනය කිරීමට වගකිවයුතු බලධාරීන් ක්‍රියා කළ යුතුයි. එසේ නොමැති වුවහොත් අපරාධකරුවන්ගේ පමණක් නොව වටිනා මිනිස් ජීවිත හා දේපොළ ද තව දුරටත් අහිමි වී යනු ඇත.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ. සිල්වා මහතාගේ උපදෙස් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ වැලිගම මූලස්ථාන පොලිස් පරික්ෂක ඩී.එම්. අබේසේකර මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවති.
ඡායාරූප හා සටහන
ක්‍රිෂාන් ජීවක ජයරුක්