පෙම්වතා සොයා ගෙදරින් ගිය පාසල් දැරියට වූ හිරිහැරය


ඇය ගෙදරින් එළියට බැස්සේ සිය පෙම්වතා සොයාගෙන යාමටය. ඇයගේ දාහතර වැනි උපන්දිනය ද යෙදී තිබුණේ එදාය. ඒ ගමන ඇය පිටත්ව ගියේ මව්පියන්ට හොර රහසිනි. 

 
තම බාල නැගණිය යන මේ ගමන ගැන ඇයගේ වැඩිමහල් සොයුරිය පමණක් දැන සිටියා ය. පෙම්වතා සොයා යන මේ ගමනට ආශිර්වාද කර මග වියදම දුන්නේ ද ඇය විසිනි.   


 කුලුදුල් දරුවා ප්‍රසූත කිරීමට ඇය මහ ගෙදරට පැමිණ සිටියාය.   


රාගයෙන් උමතුවී සිටි පාපතර සල්ලාලයෙක් අතරමගදී ඇයගේ කුමරි බඹසර ඩැහැ ගත්තේය. වෘකයකුට කොටුවූ මුවැත්තියක් ලෙස ඒ හැඩි දැඩි තිරිසනා ඉදිරියේ ඇය අසරණ වූවාය. 

 
ගෙදර ආ ඇය මේ බවක් කිසිම කෙනෙකුට කියන්න ගියේ නැත.   


ඊට දවස් දෙකතුනකට පසු ඇය ගොදුරු කරගත්තේ ඇයගේ ඥාති මාමා කෙනෙකි.   


දෙදෙනකු අතින් අතවරයට ලක්වී තිබුණත් ඇය මේ බවක් කිසිම කෙනෙකුට කියන්න ගියේ නැත.   


සුදෝ සුදු ගවුමින් සැරසී සම වයසේ යෙහෙළියන් සමග ඇය පාසල් ගියේ කිසිම දෙයක් නොවූ අයුරිනි.   


පන්ති බාර ගුරුවරියට ඇයගේ හැසිරීම් රටාවේ කිසියම් වෙනසක් පෙනී ගිය නිසා තවදුරටත් ඇය කෙරෙහි විමසිල්ලෙන් පසුවී ඇත.   


එන්න එන්න ඇයගේ හැසිරීමේ අමුත්තක් පෙනෙන්නට තිබූ නිසා පන්ති බාර ගුරුවරිය සිසුවිය ගෙන්වා ඇය සමග බොහොම ළෙන්ගතව කතා කළාය.   


ටික දවසක් යනවිට සිසුවිය ගුරුවරියට බොහෝ සමීප වූවාය.   


පන්ති බාර ගුරුවරිය සිසුවියගෙන් උපක්‍රමශීලී ලෙස විස්තර විමසූ අවස්ථාවේ ඇය තමාට සිදුවූ අකරතැබ්බයන් ගැන සියලු‍ තොරතුරු හෙළිකළාය.   


අවසානයේ පන්ති බාර ගුරුතුමිය මේ ගැන විදුහල්පතිවරයා ද දැනුම්වත් කළ අතර සිසුවියගේ මව්පියන්ට දැනුම්දීමට ඔවුහු තීරණය කළහ.   


තම දියණියට සිදු වී ඇති ඇබැද්දිය ගැන අසා මව්පියෝ මහත් සේ කම්පාවට පත් වූහ. 

 
දියණිය අවස්ථා දෙකක දී මෙම නරුමයන් දෙදෙනාට එරෙහිව පැමිණිලි කිරීමට අම්පාර උහන පොලිසියට මව්පියන් ගියේ දියණිය ද කැටිවය.   


මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එයාගේ වයස අවුරුදු 26 ක් වෙනවා. හිටි හැටියේම එයා මාත් එක්ක කතාබහ කිරීම අතහැරියා. මාව හම්බවෙන්න ආවෙත් නැහැ. මට මේක දරාගන්න බැරි වුණා. මගේ දාහතර වැනි උපන් දිනේ දවසේ මම එයාව හම්බ වෙන්න යන්න තීරණය කළා.   


එයා ගැන අක්කාත් දැන සිටියා. මම අක්කට විස්තරේ කිව්වා. බෝයිෆ්‍රෙන්ඩ් ඉන්නේ හිඟුරාණේ. අම්මටයි තාත්තටයි හොරෙන් බෝයිෆ්‍රෙන්ඩ් හම්බවෙන්න යන්න සූදානම් වුණා. මග වියදමට කියලා අක්කා මට රුපියල් 2,200 ක් දුන්නා. මම සල්ලි ටිකත් අරගෙන බෝයිෆ්‍රෙන්ඩ් හමුවෙන්න හිතාගෙන ගෙදරින් ගියා. හිඟුරානට යන්න බස් එකකට නගින්න යන අතරවාරයේ ත්‍රීවිල් එකක් එළවන අයියා කෙනෙක් හමුවුණා. බස් ​හෝල්ට් එකක් ළඟට ගිහින් දාන්නම් කියා ඒ අයියා මාව ත්‍රීවිල් එකට නංවා ගත්තා. දාහතර හැවිරිදි පාසල් සිසුවිය පොලිස් නිලධාරිනියක් හමුවේ කියා සිටියාය. ත්‍රීරෝද රථය පාළු ස්ථානයකට ගොස් නවතා රියැදුරා ඔහුගේ පහත් ආශාවන් මේ පුංචි දැරියගෙන් සන්තර්පනය කර ගැනීමට සූදානම් වී ඇත.   


‘අනේ අයියේ මට කරදර කරන්න එපා. මට යන්න දෙන්න’ කියා ඇය බැගෑපත් වෙද්දිත් ඒ ගැන තුට්ටුවකට මායිම් නොකළ ඒ තිරිසනා ඔහුගේ සිතැඟි සිතු සේ ඉටු කරගෙන තිබේ. දාහතර වැනි උපන් දිනය යෙදී තිබූ දවසේ ඇය ගෑනියක් බවට පත්වූයේ ත්‍ර්‍රීරෝද රථය තුළ දී ම ය.   


පෙම්වතා සොයා යාම පසෙක තැබූ ඇය යළි ගෙදර ආවාය.   


ඥාති මාමා කෙනෙකු අතින් ගෙදර කිසිවෙක් නොමැති අවස්ථාවක ඇය යළි අතවරයට ලක්වූයේ පළමු සිද්ධිය වී දින කිහිපයකට පසුවය.   


පෙම්වතා මුණගැසීමට ගිය අවස්ථා කිහිපයක දී ඔහු අතින්ම තමා ලිංගික අපයෝජනයකට ලක් වුණ බව ඇය කාන්තා පොලිස් නිලධාරින් හමුවේ කියා සිටියේ දෙනෙතින් කඩා වැටුණු කඳුළු අතරිනි.   


මෙම සිසුවියගේ අක්කා 20 හැවිරිදි ගැබිනි මවක වන්නීය.   


උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා ඇය ද පොලිසියට කැඳවා ඇයට තරයේ අවවාද කළේ තමාගේ නැගණියට වූ විපතට ඇය ද වගකිව යුතු බව පවසමිනි.   
‘අක්කා කෙනෙකු වශයෙන් නමුත් නංගිගේ ගමන වළක්වා ගැනීම වෙනුවට ඇයට ගෙදරින් යාමට සල්ලි දුන්නු එක හරිම වැරදියි. තමුන්ට තිබුණේ මේ ගැන අම්මාට හෝ තාත්තාට කියන්න. තමුන් හරියට වැඩේ කළා නම් නංගිට මෙහෙම කරදරයක් වෙන්නේ නැහැ’ යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා වැඩිදුරටත් පවසා ඇත. මව්පියන් ද මීට වඩා තම දරුවන් ගැන සැලකිලිමත් විය යුතු බව ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පාසල් සිසුවියගේ මව්පියන්ට අවවාද කරමින් කියා ඇත.   


පාසල් සිසුවිය දූෂණය කළ බව කියන ත්‍රීරෝද රථ රියදුරා ද ඥාති මාමා ද ඇය ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියන පෙම්වතා ද පොලිස් අත්අඩංගුවට පත් වූහ.   


තිස්පස් හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරා විවාහ වී දරුවන්ද සිටින හිටපු හමුදා සෙබලෙකු වන අතර ඇයගේ මාමාද 49 හැවිරිදි වියේ පසුවන අයෙකි. සිසුවියගේ පෙම්වතා 26 හැවිරිදි වියේ පසු වේ.   


උහන පොලිස් ස්ථානාධිපති ප්‍ර්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.එන්. විජේරත්න, උපපොලිස් පරීක්ෂක ලලිත් සමරවීර, පොලිස් සැරයන් වේරගොඩ (58004), ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් ෂර්මිලා ගාල්ලගේ (5694), කාන්තා පොලිස් කොස්තාපල් උෂානි (10234) සහ සුගන්ධිකා (9947) යන මහත්ම මහත්මින් මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ඇත.

 

 

සටහන - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය