බාහුවෙන් පෙනෙන කාන්තාවන්ගේ ගතිගුණ..


  • සිනිඳු බාහුවක් හිමි තැනැත්තියට උතුම් මනුෂ්‍ය ගුණධර්ම හිමිය.  
  • බාහුවේ රෝමයෙන් යුතු කාන්තාව පෙම් සබඳතා රැසක පැටලේ. 

 

දේහ ලක්ෂණ ගැන කතා කිරීමේ දී බාහුව ද ප්‍රධාන ස්ථානයකි. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ බාහුව පිළිබඳ දේහ ලක්ෂණ විමසීමටයි. ගත ලකුණු ශාස්ත්‍රයෙහි බාහුව වශයෙන් සලකනු ලබන්නේ උරහිසේ පටන් මැණික් කටුව දක්වා කොටසටයි.  


යම් ස්ත්‍රියකගේ බාහු යුගල දික්ව පිහිටයි නම් එය ඉතාමත් වාසනාවන්ත දේහ ලක්ෂණයකි. ඇය ධන ධාන්‍ය ආදී සැප සම්පත් සපිරිව සුව පහසු දිවියක් ගත කරන්නීය. යහපත් කලත්‍ර දූ දරු සම්පත් ද හිමිය. ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තියක් ඇත. ඉහත කී පරිදි විවාහයෙන් පසු සියලු සැප සම්පත් විඳීමේ භාග්‍ය හිමිය. ආදරණීය අවංක සැමියකු හිමිවේ. අන්‍යයන්ගේ දුක් හඳුනන යහපත් සිතුවිලි සහිත තැනැත්තියකි. බාහු මසින් පිරී ඉතාමත්ම සිනිඳුවට පිහිටා ඇත්නම් උතුම් මනුෂ්‍ය ගුණධර්ම ඇය තුළින් විශේෂයෙන් විද්‍යාමාන වේ. අලුත් දේවල් පිළිබඳව සොයා බැලීමට හා අලුත් දේවල් තම ජීවිතයට එකතු කර ගැනීමට නිතරම පාහේ උත්සාහ කරයි. බොහෝවිට මෙවැනි ස්ත්‍රීන් නිදහස් ජීවිතයට ප්‍රිය කරයි. 

 
බාහු රෝමයන්ගෙන් යුතුව නහර මතුවී පෙනේ නම් එය කාන්තාවකට අශුභ ලක්ෂණයකි. වෙසෙසින්ම අනර්ථකාරී වනුයේ විවාහය පැත්තෙනි. තද හිතක් පිහිටන මෙවැනි අය ප්‍රේම සබඳතා කිහිපයකම පැටලේ. අනුකම්පා රහිතය. රෝම ගොරෝසු නම් ස්වාමි පුරුෂයාට අපල සහිතය. නැතොත් වැන්දඹු වෙයි. බාහුවල මස්පිඬු එල්ලා වැටේ නම් චරිතයට කැළැල් ඇතිකර ගැනීමට බොහෝ ඉඩකඩ පවතී. කේලම් ඕපදූප කියයි. හෙවත් වචනය වරදවා හැසිරෙයි. අන්‍යයන්ගේ සැප නොඉවසන සුළුය. කෙටි බාහු ඇති ස්ත්‍රිය දිළිඳු වේ.  
ස්ත්‍රීන්ට අශුභ නමුත් පුරුෂ බාහුවල දිග රෝම පිහිටා ඇත්නම් එය ඉතාමත් ශුභ ලකුණකි. ඔහු ක්‍රමයෙන් දියුණුව කරා පිය නගයි. අන්‍යයන්ගේ දුකේදී වහා උණුවෙන මෘදු හදවතක් හිමිය. ආදරය අවංකය. දිවි හිමියෙන් ප්‍රේම කරයි. කුමන අංශයකින් හෝ පරතෙරට පැමිණ ප්‍රසිද්ධියට පත්වේ. කොහොම වෙතත් දියුණුව හෙමින්ය. පුරුෂයෙකුගේ බාහු යුගල කෙට්ටු නම් බොහෝ දුරට දුක්බර දිවියක් හිමිවේ. හිතුවක්කාර විවාහයකට වුවද පෙළඹිය හැකිය. ලැජ්ජාව බිය නැති තරම්ය. බාහු කෙටිව පිහිටීම ස්ත්‍රී පාර්ශ්වයට මෙන්ම පුරුෂ පාර්ශ්වයට ද අශුභ ප්‍රතිඵල ඇති කරයි. විශේෂයෙන් චරිත කැළැල් ඇතිවේ. දිග බාහු යුගල මසින් පිරී ඇත්නම් සියලු සැප සම්පත්වලින් පිරුණු ජීවිතයක් ගත කිරීමේ භාග්‍ය හිමි වෙයි. ශරීර සෞඛ්‍ය යහපත් වෙයි. පරිත්‍යාගශීලී මෙන්ම පරාර්ථකාමී ගතිගුණ පිහිටා ඇත. බුද්ධිමත් තීරණ ගනී.

 

 

නයෝමි පබසරා මැණිකේ  
මාවනැල්ල.