සුනඛ සුරතලාට භූත මැහැල්ලගෙන් වැදුණ පා පහර


​පෙනෙන නොපෙනෙන ලෝකය   

 

මනුලොව උපත ලැබූ අප සදාකල් ජීවත් වන්නේ නැත. අපි කවුරු වුනත් තරාතිරම කුමක් වුවත් දිනක මිය යන්නෙමු. මරණින් මතු තවත් කුමන හෝ ආත්මයක උප්පත්තිය ලබන බව පුනරුත්පත්තියට අනුව කියැවෙන කථාවකි. නමුත් එම ආත්ම භාවය කුමක්ද? කියා නිශ්චිතව මිනිස්සු වන අපට දැනගත නොහැකිය. එවැනි ක්‍රියා දැනගත හැකි වන්නේ එලොව, මෙලොව, දෙලොව පෙනෙන ලෙස තමන්ගේ ඥානය දියුණු කරගත් පුද්ගලයෙකුට පමණි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයින්ට ඒවා පෙනෙන තරම් ඥාන ශක්තියක් නොමැති බව ඇත්තය.   


මියගිය පුද්ගලයෙකුගේ නැවත උත්පත්තියේ දී ඇතිවන භූත ආත්ම පිළිබඳ කොතෙකුත් අසා ඇත්තෙමු. නමුත්, ඒවා දුටු පුද්ගලයා මිස නොදුටු පුද්ගලයින්ට ඒවා විහිළු සපයන්නක් වැනිය. අනවබෝධය අත්හැර තරමක අවබෝධාත්මක ස්වරූපයකින් එදෙස බලන්නේ නම් යම් නිගමනයකට එළඹීමට පුළුවන.   
කෙසේ වෙතත් මියගිය පුද්ගලයින්ගේ අවතාර හොල්මන් භූත ආත්ම ගැන අපට අසන්නට දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. නමුත් එයින් අදහස් කරන්නේ පුනරුත්පත්තිය ඇත්තනම් මියයන සියලු පුද්ගලයින් හෝ සත්වයින් සියලු දෙනාම සුගතිය කරා යන බව නොවේ. හැමදෙනා සුගතියට යන්නේ නම් ඇත්තටම භූත ආත්ම කොහෙත්ම අපට නොපෙනෙන්ට හෝ අසන්නට නොලැබෙනු ඇත.   
බොහෝ විට හොල්මන් අවතාර හෝ මනුෂ්‍යයකු නොවන ආගන්තුකයකු දුටුවිට එම පුද්ගලයා එවැනි රුවකට බියවීම සාමාන්‍ය දෙයකි. නමුත් අමනුෂ්‍ය බලවේග සමඟ ජීවත් වූ අය සිටි බව ඔබ දැනගතහොත් පුදුමයට පත්වනු නිසැකය.   


ඔහු සහ ඇය අඹුසැමියන් වශයෙන් එක්ව පනස් වසර පසුවූවා පමණි. තම දූ දරුවන් දීගතල දී අවසන් කර තම පදිංචිංය සඳහා නව නිවසක් මිලදී ගැනීමට කල්පනා කළ හෙයින් එම අවස්ථාව ඔවුන් දෙදෙනාට උදාවිණි. නමුත් නව නිවසේ පදිංචියට ආවේ තම මව සමගයි. තම බිරිඳ පසුව ගෙන එන අදහසින්ය. නව නිෙවසේ පදිංචි වී සති කීපයක් ගෙවී ගියේය.   


එක් සන්ධ්‍යාවේ දිනයක ඔහු හුදෙකලාව තම නව නිවසේ කාලය ගත කළ අවස්ථාවකි. හිටි අඩියේ නිවසේ දුරකථනයෙන් කවුදෝ කාන්තා කටහඩකින් අමතන සංවාදයක් ඇසී දුරකථනය දෙස නෙත් යොමා ඒ අවට නිරික්ෂණයක යෙදී ඇත. කවදාවත් නොදැකපු නුපුරුදු වියපත් කාන්තාවක් දුරකථනය අසල රිසිවරය අතේ තබා ගෙන සිටිනු දැකගැනීමට හැකි වී ඇත.   


මුළුගතම වියපත් වී ඇති ඇයගේ හිසකෙස් තඹ පැහැ ගැන් වී තිබුණේ මහලු බවේ අගිස්සට ගොස් ඇති බව අඟවන්නට මෙනි. ඇය නිසොල්මත්ව නිශ්ශබ්ධව සිටියාය. ඇයගේ මුවින් එකම වචනයක්වත් පිට නොවීම විශේෂත්වයකි. අදහාගත නොහැකි මෙම සිද්ධි නිසා කිසිවක් කර කියා ගත නොහැකිව සිටි ඔහු තම මව කැඳවා මේ ගැන ඇයට සැලකර සිටියේය. නමුත් තම මව මේ ගැන වැඩි ගණනකට නොගත් බව ඔහුට වැටහිණි.   


මහලු කත දුරකථනය අසල පෙනී සිටීම මෙම සිද්ධියෙන් පසුව සාමාන්‍ය දෙයක් බවට පත්විය. සතියකට කීප වතාවක් සන්ධ්‍යා භාගයේ දී මෙම වියපත් කාන්තාව දුරකථනය අසළ පෙනී සිට රිසිවරය අතට ගෙන කන තබා ගෙන සිටීම පුරුද්දක් කර ගත්තාය. පසුව නිවසේ හිමිකරු මෙම දර්ශනය නිතර නිතර දැකීම නිසා සිතේ මුලින් තිබූ චකිතය බිය සැක සංකා ඔහුගෙන් තුරන් වී ගියේය.   


කල්යත්ම ඔහු තම මව සමඟ මේ ගැන සාකච්ඡා කළේය. අම්මා සමඟ මෙම අත්භූත කාන්තාව පිළිබඳ සියලු විස්තර පැවසීමෙන් පසුව මව ද කියා සිටියේ තමාට ද මේ වග වරින් වර දැණුනු බවත් පුතා සමඟ නොකීවේ යම් භූත බලයක් මෙහි ගැබ් වී ඇති නිසා තම පුතා තැති ගැම්මකට ලක්වේයැයි යන බිය නිසායැයි කීවාය. නමුත් මවට සැදෑ භාගයේ දී මහලු කාන්තාව නොපෙනුණත් විවිධ ශබ්ද නිතර නිතර ඇසෙන බවත් ඇය කීවාය. වැඩි විස්තර සොයා බැලීමේ දී ඔවුන්ට දැන ගත හැකි වී ඇත්තේ සන්ධ්‍යා කාලයේ දී එම මැහැල්ලා දර්ශනය වන අවස්ථාවේ දී තම මවට ද විවිධ ආකාරයේ ශබ්ද ඇසී ඇති බවයි. මවට ශබ්ද ඇසෙන්නේ ද ඔහු හට දර්ශනය වන්නේ ද එකම අවස්ථාවේ බව එ්ත්තු ගියේය.   


මෙම අත්භූත කාරණය පිළිබඳව ඔහු අසල්වාසීන්ගෙන් විමසා ඇති අතර එවිට ඔවුන් පවසා ඇත්තේ මෙවැනි කථාවකි. නිවසේ පරම අයිතිය සතු වී තිබුණේ කාන්තාවකට බවයි. ඇය කෙස් දුඹුරු පැහැ ගැසුනු දිරා ගිය ඇට සැකිල්ලක් බදු මහළු කාන්තාවකි. ඔවුන් නි​ෙවස මිලයට ගැනීමට ටික කාලයකට පෙර මෙම වියපත් කාන්තාව මියගිය බවත් අසල්වාසිහු පැවසූහ.   
මැහැල්ල තමන්ගේ නි​ෙවසට බෙහෙවින්ම ආදරය කළ බව ගම්වාසීන් විසින් වැඩිදුරටත් කියා ඇත. මෙම කාන්තාව ජීවත්ව සිටින කාලයේ පටන් මන්දිරයේ නඩත්තු කටයුතු නිසි ලෙස ඉටු කරමින් මනා ලෙස අලංකාර අන්දමින් සකස් කර ගෙන තබා ගෙන ඇත. එම නිසා මැය පැමිණෙන්නේ නි​ෙවස මනා ලෙස පවතින්නේ ද යන්න දැන ගැනීමට විය හැකියැයි අසල්වාසිහු පැවසූහ.   


භූත ආත්මයක් සමඟ ටික කලක් ජීළුත් වූ මව සහ පුතාට කරදර එන්න එන්නම වැඩි වන බව දැණිනි. මෙම කාරණය සඳහා ගුප්ත සේවාවන් ඉටුකරන ඇඳුරුතුමකුගේ සහය ලබාගැනීමට කතිකා කර ගත් දෙදෙනා දිනක් සවස් භාගයේ දී තම සුරතල් ‘‘රෝවර්’’ නමැති සුනඛයා ද සමඟ ගුප්ත ඇඳුරා හමු වීම පිණිස නි​ෙවස පිටුපසින් පිහිටා ඇති වෙල්යාය දිගේ ඇවිද ගියහ. ගුප්ත ඇඳුරා හමු වීමට යන අවස්ථාවේ දී ඔහුට සහ තම මවට අවතාර ගැහැණිය පිළිබඳ අත්දකින්නට ලැබුණ ලොමු ඩැහැගැන්වෙන අත්භූත සිද්ධිය ඔහුගේ වචන තුළින් පැවසුවේ මෙසේය.   


මම එදා මාගේ මවත් සමඟ සහ අපගේ ආරක්ෂකයා වන ‘‘රෝවර්’’ නමැති සුනඛ සුරතලාත් කැටිව නි​ෙවස අසල ඇති කුඹුරු යාය මැදින් වැටී ඇති අඩිපාර දිගේ ඇඳුරා හමුවීම සඳහා ගියා. බල්ලා අප අනුගමනය කරමින් අප පිටුපසින් ගමන් කළා. මම නිතරම උගේ නම කිය කියා කථා කරමිනුයි ගියේ. එම වෙලාව මළ හිරු බසින අවස්ථාවයි. යක් ඇදුරාගේ නි​ෙවසට ළගාවන්නට තව ඇත්තෙ විනාඩි පහ​ෙළාවක පමණ කාලයක්.   
කුඹුරු යාය මැදින් ටික දුරක් ඇවිදගෙන යන විට බල්ලා ඉතා වේගයෙන් වෙල්යායේ නියරක් දිගේ දිවයනු දැක්කා. ඌ යම් කිසි කෙනෙක් පිටුපස බුර බුරා දිවයන බවත්, එය දිව යාමක් නොව යම් කිසි කෙනෙක් පිටුපසින් පන්නාගෙන යන බවත් මට තේරුණා. වඩාත් හොඳින් අප දෙදෙනා හොඳ නිරීක්ෂණයක යෙදුණා. දැන් හිරු බැසීමට ඔන්න මෙන්න කියා තිබෙන මොහොතක් වඩාත් තියුණු නිරීක්ෂණයකින් පසු අප දෙදෙනාට දැක ගන්නට ලැබුණේ ලා දුඹුරු පැහැති සේවනැල්ලක් වැනි දර්ශනයක් ඇති කෙනෙක් වෙල්යාය මැදින් දිව යන බවත් බල්ලා එළව එළවා කඩා පනින්නේ ඒ හේමලයා පසුපසින් බවත් හදුනා ගත්තා.   
ඒ නම් සන්ධ්‍යා භාගයේ වෙල් යායේ ලැගුම් ගන්නා ගව රංචුවක එකෙක් නොවන බව ඉතා විශ්වාසයෙන් යුතුව මට තේරුණා. ඒ කෙසේ වෙතත් එම රුව ටිකෙන් ටික අප දෙදෙනා වෙත ළංවුණා. එයින් පසු තමයි දැක ගත හැකි වූයේ එම රූපය දෙපසට දෙඅත් සහ පාද ඇති බව. අප දෙසට එම රුව ළංවන්නට ළංවන්නට අපගේ සුරතලා එය වෙතට කඩා පනින්නටත් හපා කන්නටත් පටන් ගත්තා. ඒත් සමඟම කියන්නට බැරි තරම් බියකරු හඩක් එම රූපය තුළින් නැංවුණා. ඒත් සමඟම මාගේ සිරුර පණ නැතුව යනවා සේ දැණුනා. මගේ මව හුන් තැනම ගල් ගැසී බලා සිටියා. ක්ෂණයකින් බල්ලාට පා පහරක් වැදුනාක් මෙන් කෑගසන්නටත් හැල්මේ දුවන්නටත් පටන් ගත්තා. ඒ සමඟම මාගේ අම්මාත් මමත් ඉතා ඉක්මනින් අපගේ නිෙවස වෙත දිව ගියා. පසුදා උදේ බල්ලා ගැන සොයා බැලුවා. නමුත් හමුවුණේ නැහැ. එදිනෙන් පසුව මාගේ ‘‘රෝවර්’’ නමැති සුනඛ සුරතලා යළි කිසි දිනක මට හෝ මාගේ මවට දකින්නට ලැබුණේ නැහැ. එදිනෙන් සතියකට පසුව අප මිලයට ගත් නිෙවස ව්‍යාපාරිකයෙකුට විකුණා දැමුවා.   


ඇත්ත වශයෙන්ම මෙය සත්‍ය සිද්ධියකි. මෙම පුවත පිටුපස සැගවී ඇත්තේ කුමක්ද? සුනඛයින්ට හොල්මන් අවතාර, භූත, ආත්ම පෙනෙන බවට එක්තරා සාක්ෂියක්ද? සුනඛ සුරතලා නැවත නි​ෙවසට නොපැමිණි නිසා භූත මැහැල්ලගෙන් වැදුණු පහරින් මිය ගියා යැයි සැකකළ හැකිද?   


කෙසේ වෙතත් සුනඛයින්ට භූත ආත්ම සම්පූර්ණයෙන්ම පෙනෙන බව මෙම කදිම සාක්ෂියක් හැටියට ගත හැකි බව ඇත්තය. 

 

 

කුලියාපිටියේ   
එස්. ප්‍රබෝධ සමරක්කොඩි