හැඩකාර සිදත් අද දවසේ ගෙවන ජීවිතය


 

 

  • පුතා සංජේ ගුවන් නියමුවෙක්   
  • දියණිය ෂෙමාරා ඔක්ස්ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධිය හදාරනවා.   
  • සිදත් අද දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙක්   
  • භාවනාව ඔහුගේ ජීවන සිරිතක්   

 

 

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා පිටියේ මේ දක්වා ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් වඩාත් හැඩකාර පිතිහරඹ රටාවක් පෙන්නුම් කළ ක්‍රීඩකයා කවරෙක්ද කියා ඇසුවොත්, ඊට දියහැකි ලස්සනම නාමය ‘සිදත්’ වෙත්තමුණිය. අලංකාර වූ පිතිහරඹ රටාව මෙන්ම, පෙනුමෙන් ද වඩාත් හැඩකාර වූ, සිදත් හැඳින්වෙන්නේ ‘ලෝඩ්ස්’ හි වීරයා හෙවත් ‘ලෝඩ් සිඩ්’ නමිනි. ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය ලැබීමෙන් පසු එංගලන්තයේ ක්‍රිකට් තිඹිරිගෙය වෙන ලෝඩ්ස් පිටියේ දී සිදත් දැක්වූ දක්ෂතාව නිසා එදා ඔහු හට එලෙස නම් පටබැඳිණි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව ඕනෑවටත් වඩා සුදුසු යැයි එදා එම පිතිහරඹයෙන් ඔහු ලෝකයට ප්‍රකාශ කළ බව කිව හැකියි. ලෝඩ්ස් හිදී ලබාගත් ලකුණු 190 ඇතුළු අනෙකුත් දක්ෂතා නිසා 1985 දී ‘විස්ඩන්’ සඟරාව විසින් ‘සිදත්’ වසරේ ක්‍රීඩකයා ලෙස නම් කරන ලද්දේය. සුනිල් වෙත්තමුණි, මිත්‍ර වෙත්තමුණි යන සහෝදරයින් සමග සිදත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වාර්තාවකි. එදා සිට අද දක්වා එක් අවස්ථාවක දී ජාතික කණ්ඩායම නියෝජනය කළ සහෝදර ‘ත්‍රිත්වය’ ලෙස වාර්තා වෙන්නේ වෙත්තමුණි පවුලේ මේ සහෝදරයින් තිදෙනාගේ නාමයන්ය. වැඩිමලා වන සුනිල් ගුවන් නියමුවකු ලෙස කටයුතු කර, අද එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස තවදුරටත් කටයුතු කරමින් වෙසෙන්නේ, විදෙස්ගතවය. ‘මිත්‍ර’ වෙත්තමුණි ජීවතුන් අතර නොවේ. වෙත්තමුණි පවුලේ ක්‍රිකට් සොහොයුරන්ගේ විස්තර එලෙස කියැවෙද්දී, ක්‍රිකට් ක්‍රීඩාව වෙතින් දායාද වූ මහත්මයෙකු ලෙස හැඳින්වෙන හැඩකාර සිදත් ප්‍රවීණයාගේ අද දවසේ ජීවිතය මොන වගේද? ඒ ප්‍රවීණ ක්‍රිකට් තරුව අපට හමුවූ මොහොතකි මේ.   


• කැමතියි දැනගන්න පසුගිය කාලයෙහි ජීවිතය ගත කළ විදිහ ගැන?   


සුපුරුදු විදියටම තමයි. ටිකක් වැඩ කරනවා, පොඩ්ඩක් භාවනා කරනවා. ගොල්ෆ් ක්‍රීඩාව තරමක් දුරට කරනවා, ව්‍යායාම් ටිකකුත් කරනවා. ඔය විදියට තමයි දවස් ගෙවී යන්නෙ. 

 
• ගෙදර සහ දරුවන්ගෙ විස්තර මොන වගේද?   


බිරිඳ ශාමිණි සහ මම ගෙදර සිටින්නෙ. පුතා සංජේ, ගුවන් නියමුවෙක්. දියණිය ෂෙමාරා ආචාර්ය උපාධිය වෙනුවෙන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබනවා. ඒ දෙදෙනාම විවාහ ගිවිස ගෙන සිටින්නෙ. දියණිය එයාගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් දෙවසරක අධ්‍යාපන කාලය හමාර කරලා මෙහි ඇවිත් සිටින්නෙ. තව වසරක් විතර ඇයට හැදෑරීම් කරන්නට තියෙනවා.   


• ගුවන් නියමුවකු වන පුතා, පදවාගෙන ගිය ගුවන් යානයක, ඔබ සංචාරය කරලා තියෙනවද?   


ඔව්, ගිහින් තියෙනවා.   


• ඒ අත්දැකීම ඔබට ගෙන දුන්නෙ මොනවගේ හැඟීමක් ද?   


ඒක අපට අමුතුම අත්දැකීමකුත් නෙවෙයි. අපේ පවුලේ ගුවන් නියමුවන් කිහිප දෙනෙක්ම ඉන්නවනෙ. සුනිල් අයියා ගුවන් නියමුවකු ලෙස කටයුතු කරමින් සිටියදී, එයා එක්කත් සංචාරය කරලා තියෙනවා. මිත්‍ර අයියගෙ පුතාලා දෙදෙනා ප්‍රවීන් සහ ස්වේන් ගුවන් නියමුවන්. ප්‍රවීන් තවමත් ශ්‍රීලංකන් සමාගමේ සේවය කරනවා. ස්වේන් ස්ටැෆර්ඩ් කොලේජ් එක පවත්වාගෙන යනවා. ඒ නිසා අපේ පවුලට ‘ගුවන් නියමු’ අංශය අමුතු දෙයක්ම වුණෙත් නැහැ.   


• ඔබගෙ ‘පුතා’ ක්‍රිකට් ක්‍රීඩා කළේ නැද්ද? නැතිනම් ඔබ අකමැති වුණා ද? 

 
සංජේ ඉගෙනීම් කටයුතු කරද්දී ක්‍රිකට් ක්‍රීඩා කරන්න එච්චර කැමති වුණේ නැහැ. හැබැයි දැන් එයා ගුවන් නියමු කණ්ඩායම එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරනවා. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. තාත්තා, මහප්පා - බාප්පලා ඔක්කෝම වගේ ක්‍රිකට් ක්‍රීඩා කළ නිසා එයාට සමහර විට එදා පීඩනයක් දැනෙන්න ඇති. හැබැයි අද එයා ‘ගුවන් නියමු’ කණ්ඩායම සමග එක්වී සතුටින් ක්‍රීඩා කරනවා.   


• ඔබ ‘ක්‍රිකට්’ ක්‍රීඩාවට සමුදුන්නේ මොන කාලයේ දී ද?   


1987 වගේනෙ. දැන් සෑහෙන කලක් වෙනවා.   


• ඉන්පසුව ‘ක්‍රීඩා’ කළේම නැද්ද?   


විටින් විට පැවැත්වෙන ප්‍රදර්ශනාත්මක තරග වගේ ඒවාට, ප්‍රවීණයින් සහභාගි වූ ඒවාට වගේ ක්‍රීඩා කළා. ආරාධිත තරගවලට සහභාගි වුණා. 

 

 

 
• අපි අතීතයට යමු එදා මුලින්ම ශ්‍රී ලංකා ටීම් එකට ආ දවස ගැන මතකය මොන වගේද?   


මුලින්ම ශ්‍රී ලංකා ටීම් එකට ක්‍රීඩා කරන්න ලැබුණෙ 1977 දීයි. එංගලන්තය සමග පැවැති තරගයට ක්‍රීඩා කළේ. හැබැයි මුලින්ම නම් මම ආරම්භක පිතිකරුවා වුණේ නැහැ. දෙවැනි තරගයේ දී රංජිත් ප්‍රනාන්දු තුවාල ලබා සිටි නිසා මට ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන්න කිව්වා. කොහොම හරි එදායින් පස්සෙ සමුගන්නා තෙක් කටයුතු කළේ ආරම්භක පිතිකරුවා ලෙසයි.   


• ‘ක්‍රිකට්’ හැර ඉගෙනීමෙන් මොන වගේ අංශයක නිරත වෙන්නද හිතුවෙ?   


ගණකාධිකරණ අංශයෙන් වැඩිදුර ඉගෙන ගත්තෙ. අදියර දෙකක් සාර්ථකව නිමා කළා. ඉන්පස්සෙ ටෙස්ට් ක්‍රිකට් ගහන්න පටන් ගත්තාම, කල් දමමින් සිටියා. අන්තිමට තීරණයක් ගත යුතුම වුණා. ඒ නිසා දිගටම ක්‍රිකට් ක්‍රීඩා කරන්න තීරණය කළා.  


• ‘ක්‍රිකට්’ ක්‍රීඩාවට ආවේ අයියලා නිසාද? තාත්තා නිසාද?  


තාත්තා තමයි අපිව වඩාත් උනන්දු කෙරෙව්වෙ. ශ්‍රී ලංකාවේ පළවැනි ගෘහස්ථ පුහුණුවීම් ස්ථානය ස්ථාපිත කිරීමට මූලික වුණේ අපේ තාත්තා. හෙල්ත් ඩිපාර්ට්මන්ට් ග්‍රවුන්ඩ් එකේ දී එය ස්ථාපිත කළේ. ඒ තරමටම ක්‍රිකට් ක්‍රීඩාවට ළැදි චරිතයක් වුණා. අපිව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරවන්න තාත්තාට තිබුණෙ ලොකු කැමැත්තක්.  


• ඔබ සතුවූ කඩවසම් - හැඩකාර පෙනුම නිසා, එදා ෆිල්ම්ස්වලට එහෙම ඇරියුම් ලැබුණේ නැද්ද?  


වාර්තාමය චිත්‍රපටයකට වතාවක් මට කතා කළා. ඒත් මම බැහැ කිව්වා. ක්‍රිකට් ක්‍රීඩා කරද්දි වෙන වෙන දේ කරන්න අමාරුයි. ක්‍රීඩාවට යොමුවූ හොඳ මනසක් තිබෙන්නට ඕනෑ. ඒ නිසා වෙන දේ ගැන හිතුවෙ නැහැ. මුදල් ලැබෙන දැන්වීම්වලට පෙනී සිටීමටත් ආරාධනා ලැබුණත්, ඒවා බාරගත්තෙ නැහැ. එකම එක දැන්වීමකට විතරක් පෙනී සිටියෙ මගේ සහෝදරයා නිසයි. ඒ විදියට පෙනී සිටියෙ ‘හොන්ඩා’ (ස්ටැෆර්ඩ් මෝටර්ස්) දැන්වීමට විතරයි. පසුව ඇස්ට්‍රා මාගරින් ස්ටිකර් එකට පෙනී සිටියෙත් නොමිලේ. එදා සිට අද දක්වා කිසිම දැන්වීමකට මුදල් අපේක්ෂාවෙන් පෙනී ඉඳලා නැහැ.  


• යාළුවො කිව්වෙ නැද්ද, ඔබ රඟපාන්න හොඳයි කියලා, හැඩකාර පෙනුම නිසා?  


අපට කැමැත්ත තිබුණෙ ක්‍රිකට්වලට විතරයි.  


• ඒ විදියට ආසාවෙන් ක්‍රීඩා කළ සමයේ දී මුහුණ දුන් සොඳුරු මිහිරි මතකයන් එහෙම ඇති. අපි ඒ අතීතයට මොහොතකට යමු?  


ඒ කාලයේ දී ඇත්තටම අපි ක්‍රිකට් ක්‍රීඩා කළේ රස්සාවක් හැටියටම නෙවෙයි. අද වගේ ක්‍රීඩකයින්ට එදා පීඩනයක් තිබුණෙ නැහැ. එදා අපි ක්‍රීඩා කළේ අපට තිබුණු කැමැත්ත නිසාමයි. ලංකාවට ක්‍රීඩා කරන්නට ලැබීම ගැන අපි හරි සතුටු වුණා. ඒ නිසා තවත් රටවලට යන්න වගේම, අත්දැකීම් ලබන්න පුළුවන් වුණා. හොඳ යාළුවෝ ඇතිවුණා. එදා අපි ක්‍රීඩා කළේ ක්‍රීඩාවට තිබූ ආසාව නිසාමයි. ඒත් එදා අද ක්‍රිකට් සසඳන්න මම කැමති නැහැ. ක්‍රීඩා කරලා ලැබූ දේ ගැන අදටත් ලොකු සතුටක් තියෙන්නෙ. එදා වෘත්තීය වශයෙන් නොවූ නිසා මුදල් මූලික කරගෙන නෙවෙයිනෙ ක්‍රිකට් පැවතියේ. ඒ නිසා එදා අද තත්ත්වය කොහෙත්ම සසඳන්නට බැහැ. කෙසේ වුණත්, ටෙස්ට් තත්ත්වයට පෙර අපි එංගලන්තයේ තරග සංචාරයක නිරතවෙලා හිටියෙ. ඒ සංචාරය මට ඉතා හොඳින් මතකයි.  


එදා එම සංචාරයට ගිය පසු අපට නවාතැන් ලැබුණෙ යෝර්ක්ෂයර්හි හෝටලයක. එහි සිටියදී තමයි අපට ටෙස්ට් තත්ත්වය ලැබී ඇති බව දැනගත්තෙ. ඒ මොහොතේ කණ්ඩායමේ අපි සියලුදෙනාම ලැබුවෙ ලොකු සතුටක්. එදා රෑ අපි ලොකු පාටියක් පැවැත්වුවා. ටෙස්ට් තත්ත්වය සැමරුවේ එදා ඒ විදිහටයි. ක්‍රිකට් ක්‍රීඩා කළ අපි හැමෝගෙම ලොකුම අරමුණ වුණේ ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමයි. ඒ නිසා ඒ අවස්ථාව මිහිරි මතකයක් බවට පත්වුණා.  


• ඒ මිහිරි මතකය හැර, තරග සංචාර සඳහා ගොස් සිටියදී, මුහුණ දුන් සිදුවීම් එහෙම මතකද? 

 
අපි තරග සංචාරයකට ගිහින් සිටිය දී ඒ ඒ රටවල සිටි ශ්‍රී ලාංකිකයින් අපට කොච්චර නම් ආදරය කළේද කිව්වොත්, හැමදාම වගේ දිවා සහ රාත්‍රී භෝජන සංග්‍රහ වෙනුවෙන් ඇරයුම් කළා. ඒ කාලයේ දී අද වගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් තිබුණෙත් නැහැනෙ. ඒ වගේම වෘත්තීයමය ගිවිස ගැනීම් නොතිබුණු නිසා ක්‍රීඩකයින් හට තද නීති රීති පනවා තිබුණෙත් නැහැ. හැබැයි ක්‍රීඩකයින් එහෙමයි කියලා අනවශ්‍ය ලෙස හැසිරුණේ නැහැ. එක පවුලක පිරිසක් වගේ හිටියෙ. ඒ ඒ රටවලට ගිහාම අපේ ශ්‍රී ලාංකිකයින් ඉතාමත් ආදරණීයව සහ සුහදශීලීව අපට සංග්‍රහ කළා. ඒවා කිසිදාක අමතක කළ නොහැකි මතකයන්. 

 
• ඔබගේ ඒ ක්‍රිකට් දිවියේ අමතක කළ නොහැකිම තරගය මොකක්ද?  


ක්‍රීඩකයකු හට සෑම තරගයක්ම වටිනවා. හැබැයි මංගල ටෙස්ට් ශතකය ලැබූ දවස මට අමතක කරන්න බැහැ. ඒ වගේම අපි ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය, සදානුස්මරණීයයි. ඉන්දියාවට එරෙහිව තමයි ඒ ජයග්‍රහණය ලැබුවේ. එහි විශේෂත්වය වුණේ ඒ දක්වා අපට ලැබුණු විවේචන හා විචාර සියල්ල වෙනුවෙන් ලබාදුන් හොඳ පිළිතුරක් වීම නිසයි. බොහෝ විට බොහෝදෙනා අදහස් කළේ ටෙස්ට් තරගයක් දිනන්නෙ නැතුව අපට පියවරක් ඉදිරියට යාමට බැහැ කියලයි. ඒ නිසා ඒ ටෙස්ට් තරගය දිනලා රටක් හැටියට අපිට ලෝකයට අපේ හැකියාව ගැන ප්‍රකාශ කරන්න පුළුවන් වුණා.  


ඒ හැර පුද්ගලිකව මගේ ටෙස්ට් ඉනිම් ගැන සඳහන් කළොත් ලෝඩ්ස්හි ලබාගත් ශතකය විශේෂිත මතකයක්.  


• ‘ලෝඩ්ස්හි’ වීරයා වූ එම තරගයෙන් පසුව එංගලන්ත ක්‍රීඩකයින්ගෙන් ලැබුණු ප්‍රතිචාර මොන වගේද?  


ක්‍රීඩකයින්ට වඩා, එංගලන්තයේ මාධ්‍යය අපව ඉහළින්ම වර්ණනා කර තිබුණා. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවට ළදරුවන් නොවන වග මුළු ලෝකයම දැනගත් තරගාවලියක් වූ බව කියන්න පුළුවනි. ඉහළ දක්ෂතා ඇති කණ්ඩායමක් වෙන වග සනාථ කළ හොඳ තරගාවලියක් කිව්වොත් හරි.  


එංගලන්ත කණ්ඩායමේ එදා වේග පන්දු යැවූ ක්‍රීඩක ජොනතන් ඇග්නිව් එක්ක හොඳ මිත්‍රත්වයක් ඇති වුණා. ඊට හේතු වුණේ, එම තරගාවලියට පෙර ශ්‍රී ලංකා ඒ පිල සහ එංගලන්ත ඒ පිළ අතර ලංකාවේදී තරගාවලියක් පැවැත්වුණා. ශ්‍රී ලංකා ඒ පිල මෙහෙය වූයේ මම. සීසීසී පිටියේ පැවැත්වුණේ.  


කාසියේ වාසිය දිනලා අපි බැට් කරන්න තීරණය කළේ විකට්ටුව හොඳට තිබුණු නිසයි. ආරම්භක පිතිකරු ලෙස පිටියට ගිය මම ජොනතන් ඇග්නිව් එවූ පළමු පන්දුව, තර්ඩ්මෑන් දෙසට යොමු කළත්, පිත්තේ අග්ගිස්සේ වැදී දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා වෙත පන්දුව පහතින් ඇදී ගියා. ඔහුට එය අල්ලා ගන්න බැරි වුණා. එවිට පන්දු යවමින් සිටි ඇග්නිව් මගේ ළඟට ඇවිත් තරහින්, Every dog has his day.  


සෑම කෙනෙකුටම ඔවුනගේ ජීවිතයේ යම් අවස්ථාවක වාසනාවක් ලැබීම කියලා ඔහු කිව්වා. එය ජනප්‍රිය කියමනක් වුවත්, ඒ වෙලාවෙ නම් ඔහු මට කියන්න ඇත්තෙ කේන්තියට වෙන අරුතකින් වෙන්න ඇති.  


කොහොම වුණත්, ඇග්නිව්ට මම උත්තර දුන්නෙ පිත්තෙන් ලකුණු 116 ක් ලබමින්. අන්තිමට මම එයා දිහා බලලා හිනාවෙලා බැට් එක ඔසවාගෙන ක්‍රීඩාගාරයට ගියා. හැබැයි ඊට පස්සෙ, එදා ඉඳලා අපි හොඳ යාළුවෝ වුණා.  

 

 


• ඒ විදියට එදා ජාත්‍යන්තර පිටියේ දී මිතුරන් වූ චරිත කවුද?  


‘ක්‍රිස් බ්‍රෝඩ්’ හොඳ යාළුවෙක්. හිටපු ගමන් අපි දෙන්නා ගොල්ෆ් ගහන්න යනවා. ඇලන් ලෑම්බ් හරි හිතවත්. අපේ ගෙදර ඇවිත් භෝජන සංග්‍රහයකටත් එක්වුණා. තවම පරණ යාළුකම් අපි අතර තියෙනවා. මොහින්දර් අමරනාත්, කපිල්දේව්, රවි ශාස්ත්‍රි, ගවස්කාර්, එහෙම හොඳ යාළුවෝ.   


ඔස්ට්‍රේලියාවේ ඇලන් බ්‍රෝඩර් ගැනත් කියන්නට ඕනෑ. එයත් හරි හොඳ යාළුවෙක්. නිතර හමුනොවුවත් හමුවූ අවස්ථාවක දී අපි ගොල්ෆ් ක්‍රීඩා කරනවා.  


• එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අයගෙන් හොඳ මිත්‍රත්වයක් තිබුණු යාළුවන් ගැනත් කියමු?  


ඔක්කෝමලා හොඳ යාළුවෝ. ඒ අතරින් රුමේෂ්, අමල් සිල්වා, රවි රත්නායක, අසන්තා ද මැල්, මේ ඔක්කෝමලා හොඳ යාළුවෝ. හැමෝම එකම පවුලක අය වගේ හිටියෙ. SSC කණ්ඩායමට එදා ශ්‍රී ලංකා පිල නියෝජනය කළ බොහෝ දෙනෙක් ඇතුළත්ව සිටියා. වතාවක මම SSC නායකයා ලෙස කටයුතු කරද්දී, දුලීප් - රෝයි - අසන්තා, සාලිය අහංගම, මුන්ටාස් යුසුප්, මගේ අයියලා දෙන්නා ඇතුළු බොහෝ දෙනෙක් හිටියා.  


• ඔබගෙ ලොකු අයියා සුනිල් වෙත්තමුණි සහ ඔබ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරද්දී වූ මතකයන් තියෙනවද?  


අයියයි මමයි බැට් කරද්දි හොඳට ක්‍රීඩා කරලා තියෙනවා. SSC එකේ දී අපි දෙන්නගෙන් කෙනෙක් අවුට් වුණාම ඊළඟට බැට් කරන්න ආවේ මිත්‍ර අයියා. ඒවා හොඳ මතකයන්.  


• ‘වතාවක ඔබ’ දන්නෝ බුදුන්ගේ ගීතය ගයා, එය CD පටයකින් එළිදැක්වූවා. කොහොමද ගායනයට පිවිසියේ?  


ඒ වෙනුවෙන් උනන්දු වුණේ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ සිටමයි. කුඩා කාලයේ දී ආනන්දයේ සිසුවකු ලෙස රේඩියෝ සිලෝන් ගියා, ඊට අමතරව හේවිසි කණ්ඩායමේ හිටියා. ඒ විදියට ගායන හා වාදන අංශයේ මෙන්ම කලා අංශයේ බොහෝ දේට දායක වෙලා තියෙනවා.  


• ඒ කාලයේ වැඩිපුර ආසා කළේ කාගේ ගීතවලට ද?  


බොහෝ වෙලාවට සී.ටී. ප්‍රනාන්දු මහතාගේ ගීතවලට ප්‍රිය කළා. හේවිසි කණ්ඩායමේ සිටිය දී බටනළාව සහ ක්ලැරිනට් එක වාදනය කළා. ගිටාරය වයමින් සී.ටී. ගෙ ගී ගැයූ හැටි මට තවම මතකයි. සංගීතයට බොහෝ සෙයින් නැඹුරුව සිටි බව කියන්න පුළුවනි.  


• එතකොට අද ඔබ දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙක්. ඒ කාලයේ ඉඳලම ද ගොල්ෆ් ක්‍රීඩා කරන්නෙ?  


නැහැ, නැහැ, ක්‍රිකට්වලින් සමුගත් පසුව, ටෙනිස් ක්‍රීඩා කළා. ටෙනිස් දිගටම ක්‍රීඩා කරමින් සිටිය දී වයස 42 දී විතර මගේ දණහිසේ ආබාධයක් ඇතිවුණේ, යෝගී ව්‍යායාම් කරන අතරතුරේදීයි. මීට පස්සෙ දුවන්නෙ නැති වෙන ක්‍රීඩාවකට යොමු වෙන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබුණා. ගොල්ෆ් ගහන්න පටන් ගත්තෙ එතැන් සිටයි. වයස 42 දී තමයි ගොල්ෆ් ගහන්න පටන් ගත්තෙ.  


• මේ සියල්ලට හැර, ඔබ ආධ්‍යාත්මික අංශයට බෙහෙවින් සමීප චරිතයක්. කොහොමද ඒ අංශයට සමීප වුණේ?  


අපේ තාත්තා නිසයි. තාත්තා බෞද්ධාගම ගැන පොත්පත් ලියුවා. ඒ සෑම වාරයකදීම අපට කිව්වෙ අන්තිමට ඉතිරි වෙන්නෙ ඒ දර්ශනයයි කියලා. ගෙදර අපි හැමෝම වගේ ආගමික අංශයට නැඹුරු වුණේ ඒ ආභාෂය නිසයි. මම දිනපතා භාවනා කරනවා. අද වැඩිපුර කැමැත්ත තියෙන්නෙ දහමටයි.  


• ‘භාවනාවෙන්’ ඔබට ලැබුණු දේ මොනවද කියලා ඇහුවොත්?  


මම හිතන්නෙ ජීවිතයේ මේ සෑම දෙයක්ම මට ලැබුණෙ ධර්මය සහ භාවනාව නිසයි. ක්‍රිකට් ක්‍රීඩා කළ කාලයේ ඉඳලාම භාවනා කිරීම සිරිතක්.  


• තරග සංචාරවලට ගියාමත්, ‘භාවනා’ කිරීම කළා ද?  


අපොයි ඔව්, තරගයට පෙර උදෑසන භාවනාවෙ යෙදුණා. එය මගේ ජීවිතයේ පුරුද්දක්. ජීවිතය කියන්නේ සියල්ල වෙනස්වන සුළු අනිත්‍ය දෙයක්. ඒ අනිත්‍ය වූ ජීවිතයේ අපට තියෙන එකම සතුට සැනසීම බෞද්ධ දර්ශනයයි. ඊට අනුව ජීවිතය ගෙන යෑම තමයි ප්‍රයත්නය.  


• ආපස්සට හැරී බලා ජීවිතය දෙස විමසුම් කර බැලූ විට ඔබට ඒ ගෙවීගිය ජීවිතය දැනෙන්නෙ කොහොමද?  


මම ඔය කී විදියට, සියල්ල අනිත්‍යයිනෙ. ඒ අනිත්‍යය වූ ජීවිතයේ එකම සැනසීම ධර්මාවබෝධය විතරයි. සියලුදේම වෙනස්වෙන සුළු බව වටහාගෙන, ධර්මය අවබෝධ කරගෙන ජීවත්වීමට පුරුදු වුණාම ජීවිතයට දැනෙන්නෙ සැහැල්ලුවක්. ඒ වගේම නැතිවෙන අනිත්‍ය දේ අතරේ, එකම වැදගත්කම ධර්මාවබෝධයයි. ජීවිතයේ දිනපතා නිතිපතා අපට එය කරන්න පුළුවන් නම් මෙලොව පරලොව දෙකටම එය සුගතියක්. භාවනාව සහ ධර්මය තමයි ජීවිතයට වැදගත්ම දේ.  


• ඔබගේ ජීවන චර්යාව නිසිලෙස අවබෝධ කරගත් ආදරණීය බිරිඳ ශාමිණී ගැනත් නොකිව්වොත් අඩුවක් වේවි. ඇය ගැනත් කියමු නේද?  


මම හිතන්නෙ ශාමිණිගෙ හමුවත් පෙර ආත්මයෙන්ම ඇතිවූ දෙයක් වෙන්න ඇති. මාව සහ දරුවන් හොඳට බලාගන්න ඇය අපි ඔක්කෝටම ලොකු ආලෝකයක්. හොඳ මවක්, හොඳ බිරිඳක්. ගුණයහපත් කාන්තාවක්.

 

 

පිළිසඳර  
සඳුන් ගමගේ