ලොව විශිෂ්ටතම පාපන්දු තරුව මැරඩෝනා දිවියට සමු දුන්නේය. එය ලොව පුරා පාපන්දු ලෝලීන් කම්පනයට පත් කළ පුවතක් විය. ආජන්ටිනාවේ බුවෙනෝස් අයර්ස් නගරයේ මුඩුක්කුවක, කුසට අහරක් නොමැතිව උපන් මැරඩෝනාගේ කුඩා කාලය කඳුළින් පිරි එකක් විය. ඔහුගේ පියා කම්කරුවෙකි. මව රැකියාවක් කළේ නැත. ඔහුට අක්කලා හතර දෙනෙක් හා මල්ලිලා දෙදෙනෙක් සිටියහ. දිළිඳු බවේ පතුලේම සිටි ඔවුන් යාන්තම් බඩ කට පුරවා ගත්තේ පියා දෑතේ සවියෙන් එදිනෙදා ගෙනා සොච්චම් මුදලෙනි. බරපතළ පවුලක වැඩිමල් පිරිමි ළමයා වශයෙන් උපන් පුංචි මැරෙඩෝනා පවුලේ බර කරට ගෙන කුඩා වියේ සිටම සිහින මවමින් උන්නේය. ඔහු අඩු වයසින් ම වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු ලෙස පාපන්දු කණ්ඩායමකට බැඳුණේ ඒ නිසා ය.
තුන් වැනි උපන් දිනයදා ඔහුට තෑග්ගට ලැබුණු පාපන්දුව, ඔහුගේ ජීවිතය නොසිතූ නොපැතූ මඟකට ගෙන ගියේය. අවසානයේ පාපන්දුවෙන් පෑ දස්කම් නිසා පාපන්දු පිටිය දෙවනත් කරමින් ලෝක පූජිත පාපන්දු තරුව බවට පත් වීමට ඔහු සමත් විය. 1986 පාපන්දු ලෝක කුසලානය ආජන්ටිනාවට හිමිකරදීමේ ගෞරවය හිමිවන්නේ අංක 10 ජර්සියෙන් ක්‍රීඩා කළ මැරඩෝනාටය. එහිදී ඔහු පෙන්වූ දස්කම් සදා අමරණීයය. සිය උපන් රට වන ආජන්ටිනාවේ තිග්රේ නුවරදී මැරඩෝනා දිවියෙන් සමුගත්තේ මොළයේ ලේ කැටියක් ඉවත් කිරීමේ සැත්කමකට භාජනය වී සති දෙකකට පසු හදිසියේ හටගත් හෘදයාබාධයකිනි. දිවියෙන් සමුගනිද්දී දියේගෝ මැරඩෝනා 60 හැවිරිදි වියෙහි පසුවිය. මැරඩෝනාට දරු දැරියෝ පස් දෙනෙකි. මැරඩෝනාගේ අවසන් වදන් වූයේ මට අසනීප ගතියක් දැනෙනවා යන්නය.
දියේගෝ ආර්මන්ඩෝ මැරඩෝනා ෆ්රෑන්කෝ උපන්නේ, 1960 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා ආජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවරදීය. සහෝදර සහෝදරියන් හත්දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියා මැරඩෝනාය. ආජන්ටිනාව ලතින් ඇමෙරිකානු රටකි. ජාතික ක්‍රීඩාව පාපන්දු නොවුණත්, ආජන්ටිනා වැසියන් බෙහෙවින් ආදරේ කළ ක්‍රීඩාව පාපන්දුය. කුඩා කාලයේ පටන්, මැරඩෝනා පාපන්දු ක්‍රීඩාවට සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කළේය. මැරඩෝනා සිය ප්‍රථම වෘත්තීයමය පාපන්දු තරගයට සහභාගී වූයේ වයස අවුරුදු 16 දීය.ඔහු නියෝජනය කළේ ආජන්ටිනෝස් ජූනියර්ස් කණ්ඩායමය. 1979 වසරේ පැවති වයස අවුරුදු 20 න් පහළ පාපන්දු ලෝක කුසලානයේ දී හොඳම ක්‍රීඩකයා සම්මානය හිමිකරගැනීමට මැරඩෝනා සමත් විය. 1981 දී ඔහු ඇමෙරිකන් ඩොලර් මිලියන 4 ක මුදලකට, ආජන්ටිනෝස් ජූනියර්ස් කණ්ඩායම හැර දමා බොකා ජූනියර්ස් කණ්ඩායමට එක් විය.බොකා ජූනියර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවමින්, ආජන්ටිනා ලීග් පාපන්දු කුසලානය දිනා ගැනීමට හැකිවූයේ මැරඩෝනාගේ දස්කම් නිසාය.
1982 දී පාපන්දු ලෝක කුසලානය පැවැත්වූයේ ස්පාඤ්ඤයේය. මැරඩෝනා සහභාගී වූ ප්‍රථම පාපන්දු ලෝක කුසලානය මෙය වූ අතර, එවකට ආජන්ටිනාවේ සහ ලතින් ඇමෙරිකාවේ පාපන්දු ක්‍රීඩකයන් අතරේ පමණක් ජනප්‍රිය චරිතයක් වූ මැරඩෝනා ලෝ පුරා පාපන්දු ලෝලීන්ගේ අවධානයට ලක් වූයේ මෙම පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙනි. ආජන්ටිනා කණ්ඩායම තරග පහක් ක්‍රීඩා කළ අතර, මැරඩෝනාගේ දස්කම් ක්‍රීඩාලෝලීන් හා විචාරකයන් මවිතයට පත් කළේය. ඉතාලිය සමඟ පැවැති තරගයේදී, ඉතාලි ක්‍රීඩකයන් මැරඩෝනාට 23 වතාවක් නීති විරෝධී බාධා කිරීම් සිදුකර ඇත. පාපන්දු ලෝක කුසලාන එක් තරගයක දී එක් ක්රීඩකයකුට කරන ලද වැඩිම නීති විරෝධී බාධා කිරීම් ගණන මෙයයි. දියේගෝ මැරඩෝනා ඒ තරමට දක්ෂයෙකි. මැරඩෝනා පිටිය පුරා විදුලි වේගයෙන් දිව යන්නේ පන්දුව පාදයේ අලවා ගෙන වගේය. පිටියට ගිය පසු පාපන්දුව ඔහුගේ ඇගේ ම කොටසක් විය. විටෙක පෙනුණේ කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ මැරඩෝනා පමණක් බවය. ‘පිටියට ගියාම මට සියල්ල අමතක වෙනවා. ජීවිතයත් අමතක වෙනවා. මට පෙනෙන්නේ පන්දුව විතරයි.’ මැරඩෝනා සිය තරඟ රටාව ගැන කීවේ එසේය.
ස්පාඤ්ඤයේ පැවති ලෝක කුසලානයෙන් පසු, මැරඩෝනාගේ සුවිශේෂී දක්ෂතා හඳුනාගත්, ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම ඇමරිකානු ඩොලර් මිලියන 9.81 ක මුදලකට ඔහු එම කණ්ඩායමට බඳවා ගත්තේය. මැරඩෝනා වෙනුවෙන්, බොකා ජූනියර්ස් කණ්ඩායමට, ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම දුන් එම මුදල එවකට පාපන්දු කණ්ඩායම් දෙකක් අතරේ ක්‍රීඩකයෙකු හුවමාරු කර ගැනීමට ගෙවන ලද වැඩිම මුදල ලෙස සැලකෙයි. 1983 දී බාර්සිලෝනා කණ්ඩායමට ජයග්රණහණ රැසක් අත්පත් කර දීමට මැරඩෝනා සමත් විය.මැරඩෝනා වසර දෙකක් ස්පාඤ්ඤ බාර්සිලෝනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, තරග 58 කදී ගෝල 38 ක් වාර්තා කළේය.
1984 වසරේ දී ඉතාලියේ නාපෝලි කණ්ඩායම මැරඩෝනා එක් විය. මැරඩෝනාගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූයේ මෙයයි. නාපෝලි ක්‍රීඩකයකු ලෙස, බැඳී මැරඩෝනා පළමු වරට නාපෝලි ක්‍රීඩාංගණය වෙත පැමිණි අවස්ථාවේ, 75,000 කට අධික ක්‍රීඩාලෝලීන් පිරිසක් ඔහු පිළිගැනීමට ක්‍රීඩාංගණයට රැස්ව සිටි අතර, ඔවුහු ප්‍රීතිඝෝෂා පවත්වමින් ඔල්වරසන් දෙන්නට වූහ. නාපෝලි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිද්දී, ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකයා ලෙස මැරඩෝනා 1986 ලෝක කුසලානයට සහභාගී විය. 1986 ලෝක පාපන්දු ලෝක කුසලානය පැවැත්වූයේ මෙක්සිකෝවේදීය. මැරඩෝනා පිළිබඳව පාපන්දු ලෝලීන්ට නොමැකෙන මතක ඉතිරිකළ ලෝක කුසලානය මෙයයි. ඒ, තරගාවලිය පුරාම සිය අණසක පැතිරවීමට මැරඩෝනා සමත් වූ බැවිනි.
උරුගුවේ කණ්ඩායම පරාජය කළ ආජන්ටිනා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයට තේරුණි. අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වූයේ ආජන්ටිනාව සහ එංගලන්තය අතරේය. 1986 වසරේ ජූනි මස 22 වැනි දා මෙක්සිකෝ සිටි නගරයේ ඇස්ටෙකා ක්‍රීඩාංගණයේ පැවති ආජන්ටිනාව සහ එංගලන්තය අතර එම අර්ධ අවසාන තරගය මැරඩෝනාව පාපන්දු ක්‍රීඩකයකු ලෙස අමරණීය තත්ත්වයකට ඔසවා තැබීය.මේ වනවිට ආර්ජෙන්ටිනාව සහ මහා බ්‍රිතාන්‍යය අතර ෆෝක්ලන්ඩ්දූපත් වෙනුවෙන් පැවති යුද්ධය නිසා සිදු වූ හානිය හේතුවෙන් දෙරට අතර විරසකයක් හට ගෙන තිබුණේය. ඒ නිසා ආජන්ටිනාව සහ එංගලන්ත කණ්ඩායම පාපන්දු පිටියේ මුහුණට මුහුණ හමුවීම යුද ගැටුමකට නොදෙවැනි විය. ප්‍රථම භාගයේ දී කිසිදු කණ්ඩා යමකට ගෝල වාර්තා කිරීමට නොහැකි විය.
තරගයේ දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 6 කින් මැරඩෝනා ගෝලයක් වාර්තා කළේය. මෙම ගෝලය සුවිශේෂී එකකි. මැරඩෝනා එම ගෝලය වාර්තා කළ වේගය නිසා ඔහුගේ අත පාපන්දුවේ වැදුණු බව සහය විනිසුරු දුටුවේ නැත. ඔහු සංඥා නොකළ නිසා ප්‍රධාන විනිසුරුවරයා එය ගෝලයක් ලෙස නම් කළේය. තම අත වැදුණු බව දැනුණත් මැරඩෝනා ඒ බව කීවේ නැත. පසුව ඔහු එය දෙවියන්ගේ අතින් ලබා දුන් ගෝලයක් ලෙස හැඳින්වීය. ඒ ගෝලය සම්බන්ධයෙන් එංගලන්ත කණ්ඩායම විරෝධය පළ කළත්, විනිසුරුවරයා එය ප්‍රතික්ෂේප කළේය. කෙසේ නමුත් එම ගෝලය වාර්තා කළ පසු, වරක් මැරඩෝනා තරගයේ 55 වැනි මිනිත්තුවේදී, පිටියේ එක් කෙළවරක සිට, එංගලන්ත ක්‍රීඩකයින් අබිබවමින් පන්දුව සමඟ දිවවිත් යළිත් වරක් ගෝලයක් ලබා ගත්තේය. එය පාපන්දු ඉතිහාසයේ පමණක් නොව, මැරඩෝනාගේ ක්‍රීඩා දිවියේත් අනුස්මරණීය මතක සටහනකි. විශිෂ්ට ගෝලයක් ලෙස සැලකෙන මෙය හැඳින්වෙන්නේ ‘සියවසේ ගෝලය’ යනුවෙනි. ඒ තරගය ජග්‍රහණය කළ ආජන්ටිනාව, අවසන්පූර්ව වටයට පිවිසුණේ බ්‍රිතාන්‍යය තරගාවලියෙන් ඉවත්කරමිනි. එය යුද පරාජයෙන් දුකට පත් ආජන්ටියානුවන්ට මිහිරි පළිගැනීමක් විය.
අවසන් පූර්ව වටයේ තරගයේ මැරඩෝනා ද්විත්ව ගෝල ලබා ගැනීමත් සමඟ බෙල්ජියම සමඟ තරගය ජයග්‍රහණය කිරීමට ආජන්ටිනාව සමත් විය. 1986 ජූනි 29 වැනිදා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ බටහිර ජර්මනිය සහ ආජන්ටිනාවය. අවසන් මහා තරඟය 3-2 ක් ලෙස ජයගත් ආජන්ටිනා කණ්ඩායම 1986 පාපන්දු ලෝක ශූරයින් විය. තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට පිරිනමන රන් පන්දුව හිමිකරගැනීමට මැරඩෝනා සමත්විය. අවුරුදු 20 න් පහළ පාපන්දු ලෝක කුසලානයක දී සහ පාපන්දු ලෝක කුසලානයක දී තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙසින් අභිෂේක ලද ප්‍රථම ක්‍රීඩකයා වූයේ ද දියේගෝ මැරඩෝනාය.
1986 සහ 87 වසරවලදී, ඉතාලියේ නාපෝලි පාපන්දු කණ්ඩායම වෙනුවෙන් සිය සුපුරුදු දක්ෂතා ප්‍රදර්ශනය කළ මැරඩෝනා ඉතාලියේ ලීග් ශූරතාව, නාපෝලි කණ්ඩායමට හිමිකර දුන්නේය. 1988 සහ 89 යූ.ඊ.එෆ්.ඒ. යුරෝපා ලීග කුසලානයත්, 1990 වසරේ දී ඉතාලි සුපර් කප් ශූරතාවත්, නාපෝලි කණ්ඩායමට හිමිකරදීමට මැරඩෝනා මූලිකත්වය ගෙන ක්‍රීඩා කළේය. 1990 වසරේ ඉතාලියේ පැවති පාපන්දු ලෝක කුසලානයේ දී ද මැරඩෝනා ආර්ජෙන්ටිනා කණ්ඩායම අවසාන මහා තරගය දක්වා මෙහෙයවීය. කෙසේ නමුත්, වළලුකරෙහි ඇතිවුණු ආබාධ තත්ත්වය හේතුවෙන් සුපුරුදු ක්‍රීඩා විලාසය පෙන්නුම් කිරීමට මැරඩෝනාට නොහැකි විය. 16 දෙනාගේ වටයේදී, බ්‍රසීලයට එරෙහිව ගෝලයක් රැස් කිරීමටත්, අවසන් පූර්ව වටයේ දී ඉතාලියට එරෙහිව අතිරේක කාලයෙන් පසු දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමටත් මැරඩෝනා සමත් විය. කෙසේ නමුත් 1990 ජූලි 8 වැනිදා බටහිර ජර්මනියට එරෙහිව පැවති අවසාන මහා තරගයෙන් ආජන්ටිනාව පරාජය විය.
1990 ලෝක කුසලානයෙන් පසු මැරඩෝනාට යළි සුපුරුදු හපන්කම් දැක්වීමට නොහැකි විය. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. නොයෙක් පෞද්ගලික ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවිය. 1992 දී, මැරඩෝනා නාපෝලි කණ්ඩායමෙන් ඉවත් වී, ස්පාන් සෙවීයා කණ්ඩායම හා එකතු විය. මැරඩෝනා නාපෝලි කණ්ඩායම වෙනුවෙන් කළ මෙහෙවර අදටත් නේපල්ස් වැසියන්ට අමතක වී නොමැත. මැරඩෝනාගේ වියෝව දැනගත් විට ඔවුන් මහත් කම්පනයට පත් වූයේ එහෙයිනි. මැරඩෝනාගේ ප්‍රතිමා, පෝස්ටර්, ඇඳුම්, තොප්පි ආදිය තවමත් නාපෝලි පාපන්දු කණ්ඩායම බිහිවූ නේපල්ස් නගරයේ ප්‍රදර්ශනය කෙරේ. නේපල්ස් වැසියන්ට මැරඩෝනා පාපන්දු සුපිරි තරුවක් නොවෙයි. දෙවියෙකි. නාපෝලි කණ්ඩායම වෙනුවෙන් තරග 188 කට සහභාගී වෙමින්, ගෝල 81 ක් වාර්තා කිරීමට මැරඩෝනා සමත්විය. නාපෝලි කණ්ඩායම වෙනුවෙන් දෙවැනි වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයා මැරඩෝනාය. පළමු ස්ථානයේ පසුවන්නේ ස්ලෝවැකියානු ක්‍රීඩක මරෙක් හැම්සික් ය.
1993 දී ආජන්ටිනාවේ නෙවෙල්ස් ඕල්ඩ් බෝයිස් පාපන්දු කණ්ඩායම වෙනුවෙන් වසර දෙකක කාලයක් සඳහා මැරඩෝනා ගිවිසුම් අත්සන් කළේය. 1995 දී මැරඩෝනා යළි බොකා ජූනියර්ස් කණ්ඩායමට එක් විය. බොකා ජූනියර්ස් කණ්ඩායමට ජයග්‍රහණ කීපයක් අත්පත් කර දීමට හෙතෙම සමත් විය. ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරද්දීම, 1994 සහ 1995 වසරවල කණ්ඩායම් දෙකක පුහුණුකරු ලෙසින් ද මැරඩෝනා කටයුතු කළේය. 1994 පාපන්දු ලෝක කුසලානයේ දී මැරඩෝනා තහනම් උත්තේජක චෝදනා ලැබුවේය. ආජන්ටිනා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ තරග දෙකකට පමණි. නොයෙක් හැල හැප්පීම් මැද දියේගෝ මැරඩෝනාගේ පාපන්දු ක්‍රීඩා දිවිය 1997 දී අවසන් විය. අසමසම පාපන්දු තරුව 1997 දී ක්‍රීඩාවෙන් සමුගත්තේය.
සුපිරි ක්‍රීඩකයකු ලෙස පාපන්දු ලෝලීන්ගේ ආදරයටත් ගෞරවයටත් පත් දියේගෝ මැරඩෝනා 2008 දී යළි පාපන්දු ක්‍රීඩාවට අවතීර්ණ විය. ඒ, ආජන්ටිනා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙසිනි. 2010 පාපන්දු ලෝක කුසලානයේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා ආජන්ටිනා කණ්ඩායම පැමිණියේය. කෙසේ නමුත් අර්ධ අවසන් පූර්ව වටයේ දී ජර්මනිය හමුවේ පරාජය විය. 2011 දී එක්සත් අරාබි එම්රේට්ස් රාජ්‍යයේ අල්-වස්ල් පාපන්දු ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස ද මැරඩෝනා කටයුතු කළේය. ඉන්පසු 2019 තෙක් අරාබි එම්රේට්ස් රාජ්‍යයේ අල්-ෆූජයිරා ක්‍රීඩා සමාජයේ පුහුණුකරු තනතුර හෙබවීය. විසි වසරකට වැඩි කාලයක් පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ දක්ෂතා වෙනුවෙන් 2000 දී අන්තර් ජාතික පාපන්දු සංගමය, ‘සියවසෙහි පාපන්දු ක්‍රීඩකයා’ ලෙසින් බ්‍රසීලයේ පේලේ හා මැරඩෝනා නම් කරමින්, ඔවුන් ඇගැයීමට ලක් කළේය.
(ඩේලි මේල් ඇසුරිනි)
ලුසිත ජයමාන්න